විවිධ ගැටලු හා බාධක රැසකට මුහුණදීමට සිදුව ඇති නිසා මෙවර කන්නයෙන් පසුව යාපනයේ බොහෝ ගොවීන් නැවත දුම්කොළ වගා කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවට යාපනයේ දුම්කොළ වගා කරන්නෝ පවසා සිටිති.
රජය මගින් දුම්කොළ සඳහා පනවා ඇති නීති රීති දැඩි වීමත් සමගම, ඒවා දුම්කොළ වගාව සඳහාද බලපා ඇති බවත්, දුම්කොළ බීජ සපයා ගැනීමේ සිටම එම නීතිරීතිවලට තමන්ට යටත් වීමට සිදු වූ බවත් යාපනයේ දුම්කොළ ගොවීහු පෙන්වා දෙති.
යාපනයේ වඩමරච්චි හා කෝපායි ඇතුළු ප්රදේශ ගණනාවක මේ දිනවල දුම්කොළ වගාවලින් අස්වැන්න නෙළීම ආරම්භ වීමත් සමගම දුම්කොළ මිල ඉතා සීග්රයෙන් පහත වැටෙන්නට පටන්ගෙන ඇති බවත්, දුම්කොළ මිලට ගන්නා අයෙකු යාපනයෙන් සොයා ගැනීම පවා ප්රශ්නයක් වී ඇති බවත් ඔවුහු කියා සිටිති.
පසුගිය වසරේ මෙම කන්නයේදී දුම්කොළයක් 180කට අලෙවි කරගැනීමට හැකි වුවද මෙවර තම දුම්කොළයක් තොග වශයෙන් රුපියල් 125කටවත් අලෙවි කරගැනීමට නොහැකි වී ඇතැයි ගොවීහු පවසා සිටිති.
දුම්කොළ වගාවට වඩා කපන ලද දුම්කොළ පදම්කොට පැණි යොදා පැණි දුම්කොළ වශයෙන් සකස් කිරීම ඉතා අසීරු ක්රියාවක් බවත්, දුම්කොළ වියළීමේදී දුම්කොළ පෝරණුවලට ගිනි ඇවිළීමෙන් ඇතැම් විට දුම්කොළ කිලෝ 2000ක් 3000ක් විනාශ වන අවස්ථාද ඇති බවත් යාපනයේ දුම්කොළ ගොවීහු පවසා සිටිති.
මෙතරම් මහන්සියක්වී සකස් කරන දුම්කොළයක් රුපියල් 200කටවත් අලෙවි කරගැනීමට නොහැකි නම් එම ගොවිතැනෙන් පලක් නොමැති බැවින් මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවට ඔවුහු ප්රකාශ කරති.