කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරයට නුදුරින් පිහිටි වෙළෙඳ ප්රදර්ශනාගාරයක් සහිත ගොඩනැගිල්ලක් අද (05දා) සවස ගිනිගැනීමෙන් එම ගොඩනැගිල්ල මුළුමනින්ම පාහේ දැවී ගොස් තිබිණි.
විවිධ භාණ්ඩ සහිත මෙම ප්රදර්ශනාගාරයෙහි ක්ෂණයකින් ගින්න සිදුව ඇති අතර, එහි සිටියවුන් පවසා ඇත්තේ කුමක් සිදුවූවාදැයි සිතාගැනීමට පවා නොහැකි බවය.
ගින්න ඇති වී සුළු වේලාවක් තුළ ගම්පහ නගර සභා ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න පැතිර යෑම වළක්වාලීමට පියවරගත් ආකාරයක් දක්නට ලැබිණි.
විදුලි කාන්දුවක් ගින්නට හේතුව වියහැකි බව පොලීසිය සැක කරන අතර, යක්කල පොලිස් ස්ථානාධිපති, ප්රධාන පොලිස් පරීක්ෂක එම්.එම්.ආර්.මල්ලවකුමාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පැමිණ ස්ථානය අවට ප්රදේශයට ආරක්ෂාව සැපයීමට පියවර ගත්හ.
ගින්නෙන් ආරක්ෂාවීම පිණිස මාර්ගයේ කොළඹ දෙසට ගමන් කරන මංතීරුව වසා දැමීමට පොලීසිය පියවර ගෙන තිබූ අතර, නුවර මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද ඇතිව තිබිණි.
විදුලි බල මණ්ඩල සේවකයන් පැමිණ ගින්න සිදු වූ ස්ථානය සහිත ප්රදේශයෙහි විදුලිය විසන්ධි කිරීමට පියවර ගෙන තිබිණි.
ගම්පහ තිලකරත්න දිසානායක