මුස්ලිම් ජනතාව ඉලක්ක කර ප්‍රහාර එල්ල වන බවත් ඒවා නතර කිරීමට පියවර නොගතහොත් මුස්ලිම් මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුව තුළ වෙනමම කණ්ඩායමක් ලෙස පෙනී සිටීමට ඒකමතිකව තීන්දු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මන් සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මුස්ලිම් මැති ඇමතිවරු තැපැල් සහ මුස්ලිම් කටයුතු භාර අබ්දුල් හලීම් ඇමතිවරයාගේ කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ ඇති බව බී.බී.සී.ය පවසයි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මුස්ලිම් මැති ඇමතිවරුන් ඉහත කී සාකච්ඡාවට සහභාගී වී ඇති අතර ඔවුන් ඒකමතිකව ඉහත කී තීන්දුවට එළැඹි බවත් මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මන් සඳහන් කර ඇත.
මෙම සාකච්ඡාවේදී තම පාර්ශ්වය වෙත එල්ල වන ප්‍රහාර නතර කරවීමට පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යැවීමට තීන්දු කර ඇති අතර, ආණ්ඩුව ඒ සඳහා අවශ්‍ය පියවර නොගන්නේ නම් තම පාර්ශ්වය ඉදිරි ක්‍රියාමාර්ග තීන්දු කරන බව එම ලිපිය මගින් දැනුම් දුන් බවත් අදාළ මන්ත්‍රීවරයා බී.බී.සී.යට පවසා තිබේ.
"පසුගිය ආණ්ඩුව කාලයේත් මුස්ලිම් ජනතාව ඉලක්ක කර ගනිමින් මේ වගේ ප්‍රහාර එල්ල වුණා. දැන් මේ ආණ්ඩුව යටතේත් පසුගිය දවස්වල මුස්ලිම් පල්ලි සහ කඩ සාප්පු ඉලක්ක කර ගනිමින් ප්‍රහාර කිහිපයක්ම එල්ල වුණා. කොහිලවත්ත මුස්ලිම් දේවස්ථානයට පහර දුන්නා. ඒවා නතර කිරීමට පියවර ගන්නා ලෙසයි අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ" යැයි මුජිබර් රහ්මන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා තිබේ.