මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම එල්ලවන ප්‍රහාර නතර කිරීමට රජය පියවර නොගන්නේ නම් මුස්ලිම් මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුව තුළ වෙනමම කණ්ඩායමක් ලෙස පෙනී සිටීමට ඒකමතිකව තීන්දු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා 'අද'ට පැවසීය.
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුම මුස්ලිම් මැති ඇමතිවරුන් පසුගියදා තැපැල් සහ මුස්ලිම් කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතාගේ කාර්යාලයේ දී සාකච්ඡාකොට මෙම තීරණය ගත් බවද මන්ත්‍රීවරයා කීවේය.
මෙම සාකච්ඡාවේදී තම කණ්ඩායම ගත් තීරණ පිළිබඳ සහ තම පාර්ශ්වය වෙත එල්ල වන ප්‍රහාර නතර කරවීමට පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යැවීමට තීන්දු කර ගත් අතර, එය මේ වන විට යොමුකිරීමට කටයුතු කළ බවද මන්ත්‍රීවරයා කීවේය.
එමෙන්ම මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග සාකච්ඡාකොට අවසන් තීරණයකට එළඹෙන බවත්, ජනාධිපතිවරයා සමග පැවැත්වෙන එම සාකච්ඡාවට මෙතෙක් වෙලාවක් ලබාදී නොමැති බවත් මුජිබර් රහ්මන් මහතා ප්‍රකාශ කළේය.
"පසුගිය ආණ්ඩුව කාලයේ වගේම දැන් මේ ආණ්ඩුව යටතෙත් මුස්ලිම් ජනතාව ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල වෙනවා.
කොහිලවත්ත මුස්ලිම් දේවස්ථානයට පහර දුන්නා. මේවා නතර කිරීමට පියවර ගන්නා ලෙසයි අපි ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ" යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.