වවුනියාව මුල්ලිකුලම් රක්ෂිතයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ බුරුත දැව ජාවාරමක් පිළිබඳව අනාවරණය කර ගැනීමට මඩු අඩවි වන නිලධාරීන් හා කුරුක්කල් පුදුකුලම් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් අද (04දා) ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකදී හැකිව තිබේ.
අදාළ ජාවාරම පිළිබඳව ලැබුණු තොරතුරකට අනුව මඩු අඩවිවන නිලධාරීන් හා කුරුක්කල් පුදුකුලම් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් ඊයේ (03දා) රාත්රියේ මෙම සෝදිසි මෙහෙයුම දියත් කොට ඇත.
ඒ අනුව මුල්ලිකුලම් රක්ෂිතයේ කුට්ටමනී කොටසේ සඟවා තිබූ බුරුත දැව තොගයක්ද සහ කැබ් රථයක් අත්අඩංගුවට ගැනීමට ඔවුන්ට හැකිවී තිබේ.
මෙම මෙහෙයුම පිළිබඳව ජාවාරම්කරුවන්ට තොරරතුරු ලැබීමෙන් පසු දැව පැටවූ කැබ් රථය ඔවුන් විසින් රක්ෂිතයේ කිලෝමීටර් 20 ක් පමණ කැලෑව තුලට රැගෙන ගොස් සඟවා තිබූ බව වැටලීමට එක්වූ නිලධාරීහු පවසති.
අත්අඩංගුවට පත් කැබ් රථයේ හිමිකරුවන් අනුව මෙම දැව ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් අද දිනයේදී අත්අඩංගුවට ගැනීමට මඩු අඩවි වන නිලධාරීන් විසින් පියවර ගනු ලැබ ඇත.
මඩු අඩවිවන නිලධාරී එල්.ඒ.එස්.යාපා , අතිරේක අඩවි වන නිලධාරී කේ.එච්.එස්.කාරියවසම්, මුල්ලිකුලම් බීට්ටු වන නිලධාරී එච්.කේ.ජී.ජයන්ත, පොලිස් විශේෂ කාර්ය බළකායේ පූවර්ෂන්කුලම් කඳවුරේ අණදෙන නිලධාරී ප්රධාන පොලිස් පරීක්ෂක කේ.වී.ඒ.ජයවීර අතුළු නිලධාරීහු පිරිසක් මෙම මෙහෙයුමට එක් වූහ.