තමාට ලබාදී ඇති මුදල් අමාත්‍යාංශය නමැතිසපත්තු කුට්ටම ලොකු වැඩි යැයි සිතෙන බවත්, එය දමාගෙන ඇවිදින විට ප්‍රශ්නයක් වේදැයි බියක් ඇතිවන බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (23දා)පැවසීය.
නව සියවසට ඔබින පරිදි පෞද්ගලික අංශයේ සහාය ලබාගෙන ආර්ථිකය දියුණු කිරීමට කටයුතු කරන බවත්, ණය බරින් කඩාවැටුණු ආර්ථිකය නිවැරදි කිරීමට ශක්තියක් ලබාදෙන බවත් ඇමතිවරයා සඳහන් කළේය.
2015 අංක 16 දරණ විසර්ජන පනතේ 1 සිට 7 දක්වා යෝජනා සංශෝධනය කිරීමට අදාළ යෝජනාව ඉදිරිපත් කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර මහතා,
“මුදල් අමාත්‍යාංශය බාරගන්නා වෙලාවේ මට හිතුණා මට ලබාදී තිබෙන අලුත් සපත්තු කුට්ටම ලොකු වැඩිද කියලා. මේ සපත්තු කුට්ටමේ ඉතිහාසය දිහා බැලුවාම එන්.එම්. පෙරේරලා,පීලික්ස් ඩයස් බණ්ඩාරනායකලා, රොනී ද මැල්ලා, ජේ.ආර්. ජයවර්ධනලා ඇවිල්ලා තියෙන නිසා මට තරමක් බයක් ඇතිවුණා මේ සපත්තු කුට්ටම දාගෙන ඇවිදින්න ගිහිල්ලා ප්‍රශ්නයක් වේවිද කියලා.
ඒත් මට ලොකු විශ්වාසයක් තිබෙනවා. 94 ඉඳන්ම විදුලි ඇමතිකම කරලා රජයේත්, පෞද්ගලික අංශයේත් විශේෂඥයන් එකතු කරගෙන දක්ෂ, අවංක උපදේශකයන් එකතු කරගෙන අමාත්‍යාංශවල ප්‍රතිසංස්කරණ කළා.
මුදල් අමාත්‍යාංශය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තුළත් එවැනි වෙනසක් කරලා නව සියවසට ඔබින ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනගොස් රටේ ආර්ථික සංවර්ධනය ලබාදීමට දායක වෙනවා. මගේ හැකියාවන් අනුව උපරිම ශක්තිය යොමුකරනවා.
මෙම වගකීම බාරගන්නේ ණය බරින් කඩාවැටුණු ආර්ථිකය නිවැරදි මාර්ගයට යොමු කරමින් ශක්තිමත් වෙළෙඳපොළ ආර්ථිකයක් සඳහා අත්තිවාරම් දමලා තිබෙන මොහොතක.
පෞද්ගලික අංශයට වැඩි ප්‍රමුඛතාවක් ලබාදිය යුතුයි සංවර්ධනයේ නියමුවන් හැටියට රට සංවර්ධනය කිරීම සඳහා. ණය බරින් මිදීම සඳහා ජේ.ආර්. ජයවර්ධන හඳුන්වා දුන් විවෘත ආර්ථික ක්‍රමය යොදාගත යුතුයි. එම ආර්ථික ක්රමයේ ලක්ෂණ අපට ගැනීමට තිබෙනවා.
ඉදිරියටත් ශ්‍රී ලංකාව ඉදිරි දියුණුව කරා ගෙනයෑම සඳහා නවතම ආර්ථික ක්‍රම හඳුන්වා දියයුතුයි" යනුවෙන් පවසා සිටියේය.