මීරියබැද්ද පස් කන්ද ඉවත් කිරීමට උපරිම උත්සාහයක් - අතුරුදන් වූවෝ 100ට වැඩියි
කොස්ලන්ද - මීරියබැද්දේ සිදුවූ නාය යාම නිසා ගොඩ ගැසී ඇති පස් අද (01දා) දිනයේදී ඉවත් කර ගැනීමට උපරිම උත්සාහ දරන බව යුද හමුදාව පවසයි.
නාය යාමට ලක්වූ නිවාස ඒවා පැවති ස්ථානයේ සිට මීටර් 300ක් පමණ පහළට තල්ලු වී ඇති බවත්, එම නිවාස මත අඩි 20ක පමණ පස් තට්ටුවක් පවතින බවත් පැවසෙයි.
කෙසේ වෙතත්, අද දිනයේ ආරම්භ වන මෙහෙයුම් සඳහා මේ වන විට යුද හමුදා නිලධාරීන් 700ක්, ගුවන් හමුදාව සහ පොලීසිය එක්ව සිටින බවද පැවසෙයි.
මේ අතර, ඊයේ (31දා) පස්වරුවේ සොයා ගත් කාන්තා මළ සිරුරත් සමග අතුරුදන් වූවන්ගෙන් 4 දෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. මෙම නායයාම හේතුවෙන් තවදුරටත් පුද්ගලයින් 100 දෙනෙකුට වැඩි පිරිසක් අතුරුදන්ව සිටින බවද එම මධ්‍යස්ථානය පවසයි.
නායයාමෙන් විපතට පත්වූ පවුල් 410කට අයත් පුද්ගලයන් 1413 දෙනෙකු කොස්ලන්ද ගනේෂා දෙමළ විද්‍යාලයේ සහ පූනාගල දෙමළ විද්‍යාලයේ තවදුරටත් රඳවා සිටින බවද එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට අනතුරු අඟවා සිටින්නේ මීරියබැද්ද නායයෑම නැරඹීමට නොඑන ලෙසයි. ඒ අවට ප්‍රදේශයේ ස්ථාන කිහිපයක නාය යාම් අවදානම් පැවතීම ඊට හේතුව වී තිබේ.
මේ අතර, මීරියබැද්ද ප්‍රදේශයේ අම්පිටිකන්ද පහළ කොටසද නාය යාමේ අවදානමකට ලක්ව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

