මියගිය හදවතක් වුවත් යළි බද්ධ කිරීමට පුළුවන්ලු
මියගිය හදවතක් යොදා ගනිමින් කළ ලොව ප්‍රථම හදවත් බද්ධ කිරීමේ සැත්කම සාර්ථකව සිදුකළ බව ඕස්ට්‍රේලියාවේ වෛද්‍යවරු පිරිසක් පවසති.
මෙවැනි හදවත් බද්ධ කිරීම් සඳහා මෙතෙක් යොදාගෙන තිබුණේ මොළය මියගිය බවට සනාථ වූ, නමුත් හදවතේ ස්පන්දනය නතර නොවූ පුද්ගලයන්ය.
නමුත්, ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ශාන්ත වින්සන්ට් රෝහලේ වෛද්‍යවරු විසින් සොයාගනු ලැබුවේ ස්පන්දනය නතර වී විනාඩි 20ක් දක්වා කාලයක් ගතවූ හදවතක් වුවද බද්ධ කළ හැකි බවය.
මෙසේ මියගිය හදවතක් යොදාගනිමින් සිදුකළ ප්‍රථම ශල්‍යකර්මයට ලක්වූ කාන්තාව සිය ශල්‍යකර්මයෙන් පසුව පවසා සිටියේ තමන් අවුරුදු දහයකින් පමණ තරුණ වූවා වැනි හැඟීමක් දැනෙන බවය.
මෙතෙක් කලක් හදවත දන් දුන් තැනැත්තෙකු මරණයට පත් වී හෘද ස්පන්දනය නැවතුණු පසු ප්‍රයෝජනයට නොගන්නා එකම ඉන්ද්රිය වූයේ හදවතයි. නමුත්, ඔස්ට්‍රේලියානු වෛද්‍යවරුන්ගේ මේ විශ්වකර්ම ක්‍රියාවත් සමග දැන් ඒ අභියෝගයද ජයගෙන තිබේ.
මීට පෙර බද්ධ කිරීම සඳහා ස්පන්දනය වෙමින් පවතින හදවත් සාමාන්‍යයෙන් ලබාගෙන තිබුණේ, මොළය පමණක් මියගිය පුද්ගලයන් ගෙන් වන අතර, එසේ ලබාගන්නා හදවත් පැය 4ක කාලයක් අයිස් තුළ තැබීමෙන් පසු රෝගියෙකුට බද්ධ කිරීම සිදුවිය.
මෙම හදවත් බද්ධ කිරීම පැහැදිලි කරන ශල්‍ය වෛද්‍ය කුමුද් දිටාල් පවසන්නේ, “හොඳින් රුධිර ගලනය සිදු වෙනවා. ඒ වගේම සියලු පෝෂක ද්‍රව්‍ය හොඳින් අවශෝෂණය කරගන්නා නිසා හදවතට යළි වැඩකරන්න පුළුවන්. හදවතට අවශ්‍ය වෙන්නේ මේ දේවල් ගලා එම පමණයි. යහපත් තත්ත්වයක තියෙනවා නම් එය වැඩ කරාවි. නැත්නම් සමහර වෙලාවට විද්‍යුත් කම්පනයක් ලබා දෙන්න සිදු වේවි” යනුවෙනි.
ස්පන්දනය නතර වූ හදවතක් ‘පෙට්ටියේ දැමු හදවත’ නමින් හැඳින්වෙන සුවිශේෂී යන්ත්‍රයක් හා සම්බන්ධ කිරීමෙන් පසු සිඩ්නි වෛද්‍යවරු විසින් මෙසේ එම හදවත යළි ක්‍රියාකාරී මට්ටමට ගන්නා බව පවසයි.
උණුසුම්ව පවතින මළ සිරුරින් ඉවත් කරගත් හදවත එම යන්ත්‍රය මගින් ස්පන්දනය වීමට පටන්ගත් පසු දියර විශේෂයක් යෙදීමෙන් හදවතේ මාංශ පේශීන්වලට හානි සිදු නොවන සේ ආරක්ෂා වන බව පැවසෙයි.
ඒ අනුව, මෙම යන්ත්‍රය මගින් දිවි බේරාගත හැකි රෝගීන්ගේ සංඛ්‍යාව 30% කින් වැඩිවන බව සිඩ්නි නුවර මෙම වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානී මහාචාර්ය පීටර් මැක්ඩොනල්ඩ් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

