හබරණ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ අද (29දා) අලුයම ගල් වංගුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් වන අලි පැටවෙකු මියගොස් පසුව සිදුවූ වෙඩි තැබීමකින් ඇතින්නද මිය ගිය බව මින්නේරිය ජාතික වනෝද්‍යාන නිලධාරීහු පවසති.
ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වූ මගි බස් රථයට ගල් වංගුව ප්‍රදේශයේදී මෙම වන අලි පැටවා ගැටී ඇති අනතුරින් පසු එහි රියදුරු බස් රථය නොනවත්වා හබරණ දෙසට ධාවනය කර තිබේ.
මෙම සිදුවීම එම බස් රථයේ ගමන්ගත් මගියෙකු හබරණ පොලීසියට දැනුම් දීම මත අදාළ බස් රථයේ රියදුරු දඹුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අද (29දා) හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
අලි පැටවාට සිදුවූ අනතුර හේතුවෙන් ප්‍රකෝපව සිටී ඇතින්න මාර්ගයේ ගමන්ගන්නා රථ වාහනවලට පහර දීමට සූදානම් වීම හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථවාහන තද බදයක් නිර්මාණය වූ බව හබරණ පොලීසිය පවසයි.
මේ හේතුව නිසා ඇතින්න එම ප්‍රදේශයෙන් ඉවත් කිරීම සඳහා වනජීවි නිලධාරීන් අලිවෙඩි භාවිතා කළද ඇතින්න වඩාත් ප්‍රකෝපව මාර්ගයේ ගමන්ගත් යතුරු පැදිකරුවෙකුට පහරදීමට සැරසුණු හෙයින් වනජීවි නිලධාරීන් ඇතින්න පාලනය කිරීම සඳහා සිදුකළ වෙඩි තැබීමෙන් ඇතින්න මියගොස් තිබේ.
අද උදෑසන 10 ට පමණ ගිරතලේ පශු වෛද්‍ය ප්‍රමුදිත දේවසුරෙන්ද්‍ර මහතා විසින් වන අලි දෙදෙනාගේ මරණ පරීක්ෂණ සිදුකළ අතර, අවුරුදු 03 ක් පමණ වයසැති කුඩා අලිපැටවා හිසට ඇතිවූ දරුණු පහරක් හේතුවෙන් මියගිය බවත්, අවුරුදු 21 ක් පමණ වයසැති ඇතින්නගේ හෘදයට වැදුණු වෙඩි පහරකින් ඇය මිය ගිය බවට ප්‍රකාශ කළ බවද මින්නේරිය වනජීවි නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කරති.
මේ අනුව මෙම සිදුවීම පිළිබඳව හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට සියලු කරුණු වාර්තා කර ඇති අතර සිදුවීම පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මින්නේරිය වනජීවි නිළධාරීන් හා හබරණ පොලීසිය සිදුකරයි.
හබරණ - සංජය මධුශාන්