මැලේරියා රෝගයට යළි හිස එසවීමට ඉඩලබා නොදෙන බව ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වැනි සැසිවාරයට සමගාමීව පැවැති මැලේරියා රෝගය තුරන් කිරීම පිළිබඳ උත්සවයකට සහභාගි වෙමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඊයේ (23දා) පැවසීය.
ආසියා සහ නැගෙනහිර ආසියා රටවලින් මැලේරියා රෝගය තුරන් කිරීමේ සහතිකය ලබාගැනීමට ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමත් වී බවත්, ඒ සඳහා සහයෝගය ලබාදුන් ලෝක සෞඛ්‍ය සංවිධානයට සහ අනෙකුත් සංවිධානවලට ස්තූතිය පුද කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
“ශ්‍රී ලංකාවේ මැලේරියා රෝගය තුරන් කිරීමට දායක වූ සැමට ස්තූතිය පුද කරනවා. මැලේරියා රෝගය තුරන් කිරීම දුෂ්කර කාර්යයක්. වසර 50ක කාලයක් ඒ සඳහා කටයුතු කිරීමට සිදුවුණා. 1935 දී මැලේරියා රෝගීන් මිලියන 1.5ක් වාර්තා වුවද, 1963 වර්ෂය වනවිට රෝගීන් වාර්තා වුණේ 17ක් පමණයි. මැලේරියා රෝගය තුරන් කිරීම සඳහා උපක්‍රමශීලී සැලසුම් දියත් කළ අතර, 2012 වර්ෂය වනවිට මැලේරියා රෝගය ලංකාවෙන් සම්පූර්ණයෙන් තුරන් කිරීමට හැකිවුණා. යළි එම රෝගයට හිස එසවීමට ඉඩ ලබානොදීමට ලක් රජය කටයුතු කරනවා" යනුවෙන් සඳහන් කර සිටියේය.
මෙහිදී මැලේරියා රෝගය තුරන් කිරීමට සහයෝගය ලබාදුන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය මාග්‍රට් චෑන් මහත්මිය සහ දකුණු හා නැගෙනහිර ආසියා රටවල අධ්‍යක්ෂිකා ප්‍රනම් චෙත්‍රපාල් සිං මහත්මිය වෙත සෞඛ්‍ය අමාත්‍යවරයා සමරු සිහිවටන පරිත්‍යාග කළේය.
.jpg)