ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශය සඳහා වෙන්කර ඇති වාහන දෙක හැර වෙනත් කිසිදු රජයේ වාහනයකට ලියාපදිංචි අංක රහිතව මැතිවරණ කාලය තුළ ධාවනය කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
එමෙන්ම අමාත්‍යවරුන්,නියෝජ්‍ය අමාත්‍යවරුන් හා ඔවුන්ගේ කාර්යමණ්ඩල සාමාජිකයන් හෝ වෙනත් කිසිදු පුද්ගලයෙකුවිසින් සිදුකරනු ලබන රාජ්‍ය ආයතනවල වාහන භාවිතය වළක්වාගැනීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන් හා ආයතන ප්‍රධානීන් වගබලාගත යුතු බවට මැතිවරණ කොමිෂන් සභාව උපදෙස් පත්‍රිකාවක් නිකුත්කර ඇත.
මේ අනුව ලියාපදිංචි අංකය රහිතව හෝ ගරාජ අංකවලින් රාජ්‍ය වාහන ධාවනය කිරීම වළක්වාගත යුතු බවද එම උපදෙස් පත්‍රිකාවේ සඳහන් කර ඇත.
මීට අමතරව දේශපාලන ප්‍රචාරණ කාර්යයන් සඳහා ගුවන් යානා, හෙලිකොප්ටර් හෝ වෙනත් වාහන යොදාගැනීම පිණිස රජයේ මුදල් වැය නොකළ යුතු බවටද අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.
මේ උපදෙස්වලට අමතරව රජයේ නිලධාරීන්ට වෙන්කර ඇති වාහන භාර සංචිතවලට අනුයුක්ත වාහන හා අනෙකුත් වාහනවල ධාවන සටහන් නියමාකාරයෙන් පවත්වාගෙන යා යුතු බවටත්, මාණ්ඩලික නිලධාරියෙකු විසින් ධාවන සටහන් දිනපතා පරීක්ෂා කළ යුතු බවටත් ‘උපදෙස් දී ඇත.
රජයේ ආයතනවලට කුලියට ලබාගෙන තිබෙන වාහනවලටද මෙම නීතිය වලංගු බවද එම උපදෙස් පත්‍රිකාවේ සඳහන් කර තිබේ.
ගරාජ් අංක සහිත කිසිදු වාහනයක් මැතිවරණ කටයුතුවල යෙදවිය නොහැකි බවත්, එම නීති උල්ලංඝනය කළහොත් වාහනය පොලිස් භාරයට ගෙන රියදුරු අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා 'අද' කළ විමසීමකදී සඳහන් කළේය.