පාර්ලිමේන්තුව තුළ සිටින යම් කණ්ඩායමක් මැතිවරණයකට නොගොස් ජාතික ආණ්ඩුවක් සකස් කිරීමට සැලසුම් කළද, මැතිවරණයක් නොපවත්වා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලබානොදෙන බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
යම් ලෙසකින් පාර්ලිමේන්තු මැතිවරණය කල්දැමීමට කටයුතු කළහොත් එ.ජා.ප. මන්ත්‍රීවරුන් පාරට බැස අරගල කරන බව එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේය.
මේ නිසා ජනතාවට පොරොන්දු වූ ආකාරයට දින 100 වැඩපිළිවෙළ රට තුළ ක්‍රියාත්මක කර, ඉන් පසුව අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ජනතාව කැමැති කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පත්කර ගැනීමට ජනතාවට අවස්ථාව ලබාදිය යුතු බවද ඒ මහතා පැවසීය.
එහෙත් දින 100 ත් කඩාකප්පල් කරමින් පසුගිය ආණ්ඩුවේ දූෂණ වංචා චෝදනා එල්ල වී සිටින පිරිස් ආරක්ෂාකර ගැනීමට දින 100 වැඩපිළිවෙළින් පසු ඇතැම් පිරිස් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට උත්සාහ කරන බවද හෙතෙම පවසා සිටියේය.
එහෙත් එම උත්සාහය ක්‍රියාත්මක කරගැනීමට කටයුතු කළහොත් පාරට බැස අරගල කර හෝ අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුව විසුරුවා, ඡන්දයක් පැවැත්වීමට අවශ්‍ය සැලසුම් සකස් කරන බවද ඔහු පැවසීය.
පසුගිය කාලයේ දූෂණ වංචාවල නිරත වූ කිසිදු පුද්ගලයෙකු ආරක්ෂා නොකරන බවත්, රටේ පවතින නීතිරීතිවලට අනුව අදාළ දූෂණ වංචා පිළිබඳව පරීක්ෂණ පවත්වා කරුණු සනාථ කරගැනීමෙන් පසු රටේ පවතින නීතියට අනුව දඬුවම් ලබාදෙන බවත් මහලේකම්වරයා සඳහන් කළේය.
එහෙත් එය කඩිනමින් සිදුකළ නොහැකි බවත්, ඒ සියලුම දේවල් සිදුකිරීමට සිදුවන්නේ රටේ පවතින නීතියට අනුව බවත් කබීර් හෂීම් මහතා වැඩිදුරටත් පවසා සිටියේය.