මාරාන්තික නීපා වෛරසය හේතුවෙන් දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පුද්ගල මරණ 09ක් වාර්තා වෙයි.
මෙම මරණවලින් තිදෙනෙකුගේ ශරීර තුළ වෛරසය පැවති බව වැඩිදුර පරීක්ෂාවේදී තහවුරු කරගෙන තිබූ බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.
එමෙන්ම, සෙසු හය දෙනාගේ සාම්පල පරීක්ෂා කිරීමෙන් පසු ඔවුන්ගේ මරණද මෙම වෛරසය හේතුවෙන්ම සිදුවූ බව තහවුරු කෙරෙනු ඇතැයි ඔවුහු සඳහන් කරති.
නීපා වෛරසය සතුන්ගෙන් මිනිසුන්ට බෝවන රෝගයක් ලෙස හඳුනාගෙන ඇති අතර, පලතුරු වවුලා ප්‍රධාන රෝග වාහකයා ලෙස හැඳින ගෙන තිබේ.
මේ සඳහා ප්‍රතිකාරයක් හෝ කිසිදු එන්නතක් මෙතෙක් සොයාගෙන නොමැති අතර, වෛරසය ශරීරගත වූ පසුව එය මාරාන්තික වීමේ සම්භාවිතාව 70%ක් බව සඳහන් වේ.
ඉදිරියේදී ලෝකයට තර්ජනයක් හා වසංගත තත්ත්වයක් විය හැකි රෝගකාරක 10 අතර නීපාහ් වෛරසයද පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ.
කේරළයේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා පවසා සිටියේ වෛරසය ශරීරගත වූ රෝගියෙකුට ප්‍රතිකාර කරමින් සිටි හෙදියකද වෛරසය ශරීරගත වීමෙන් ජීවිතක්ෂයට පත්වූ බවයි.
කෝසිකොඩේ නම් වූ දකුණුදිග වෙරළාශ්‍රිත ප්‍රදේශයේ මෙම වෛරසය සම්බන්ධ රෝග ලක්ෂණ පෙන්නුම් කළ රෝගීන් 25 දෙනෙකු දැනටමත් රෝහල්ගත කර ඇති බවද එරට සෞඛ්‍ය බලධාරීහු වැඩිදුරටත් පවසති.