හම්බන්තොට වරායේ සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කිරීම ආණ්ඩුවේ වගකීමක් බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පෙන්වා දෙයි. ඔහු මේබව කියා සිටියේ අද (01දා) දළදා සමිඳුන් වැද පුදා ගෙන අස්ගිරි - මල්වතු මහනායක හිමිවරුන් බැහැ දැකීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
"වරාය අමාත්‍යවරයා ලෙස සිටින විට හම්බන්තොට වරායේ සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කිරීමට මම පෞද්ගලිකව චීන සමාගමත් එක්ක සාකච්ඡා කළා. මම කිව්වේ කිසිම විදියකින් එක ළමයෙක්වත් ඉවත් කරන්න බැහැ කියලා. අද ඒ අමාත්‍යාංශය මට අයිති එකක් නෙමෙයි.
නමුත් එදා සිටිය ස්ථාවරයේ මම තාමත් ඉන්නවා. හම්බන්තොට වරායේ ළමයින්ගේ රැකියාවලට බලපෑමක් වුණොත්, මම ආණ්ඩුවේ හිටියත් ඒකට විරුද්ධව කටයුතු කරනවා...." යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එහිදී කියා සිටියේය.