2015 පෙබරවාරි මස 27 වැනිදා බැඳුම්කර වෙන්දේසියෙන් අනතුරුව අර්ජුන් මහේන්ද්‍රන් මහතා තමන්ට පෞද්ගලික ඉල්ලීමක් කරමින් ආණ්ඩුවේ ඇමතිවරයෙකුට කරුණු ඉදිරිපත් කරනලෙස දැනුම් දුන් බව බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්යක්ෂ බී.එච්. ඉන්දික සමන් කුමාර මහතා පැවසීය.
තමන් අසත්‍ය ප්‍රකාශ පවසා ඇතැයි තීරණය කර ඇති බව කොමිසමේ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා දැනුම් දුන් පසු ඉතා හැඟුම්බරව කොමිසම ඇමතූ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්යක්ෂ සමන් කුමාර මහතා තමන් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සමග සමීප ඇසුරක් ඇතැයි වැඩිදුරටත් පැවසීය.
2015 පෙබරවාරි මස පළමුවැනිදාත්,2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්ෂි විභාග කිරීම සිදුකෙරේ.