හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටුව ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වී සිටින අවස්ථාවක ඔහුගේ ඡායාරූපයක් සමග බුලත්කොළය තිබෙන පෝස්ටර් ඇලවීමෙන් ජනතාව නොමග යැවීමේ ඉතාම නින්දිත උත්සාහයක පහත් වෑයමක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෙදී සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (27දා) පැවසීය.
කවුරු මොනවා පැවසුවද මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරනුයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා පොහොට්ටුව ලකුණ පමණක් බවත්, ඡන්ද පත්‍රිකාවේ උඩින් තිබෙන බුලත් කොළය සහ අත ලකුණ නොදැක්කා සේ පසුකර පොහොට්ටුවට ඡන්දය පාවිච්චි කරන්නැයි හිටපු ජනාධිපතිවරයාට ආදරය කරන ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා කීවේය.
පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, පසුගිය වසර දහතුන හමාරක කාලය තුළදී මහින්ද රාජපක්ෂ මහතා බුලත් කොළය ලකුණ යටතේ මැතිවරණවලට ඉදිරිපත්ව තිබෙන බවත්, එම වාසිය උපයෝගී කරගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උත්සාහ ගනිමින් සිටින බවත්ය.