ඉදිරි මහ මැතිවරණයේ දී අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ස්ථිර ලෙසම තරග වැදීමට තීරණය කර ඇති බව %අද^ට වාර්තාවේ.
අප්‍රේල් මස 23 වැනිදායින් පසුව පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා හිටපු ජනාධිපතිවරයාට අගමැති අපේක්ෂකයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා නොලැබෙන බව මේ වන විට තහවුරු වී තිබීම නිසා වෙනත් නව බලවේගයක් නිර්මාණය කරමින් යළි දේශපාලනයට පිවිසීමට සියලු කටයුතු සම්පාදනය වෙමින් පවතින බව හිටපු ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සඳහා පක්ෂයක් සහ ලාංඡනයක් මේ වනවිටත් සූදානම් කරගෙන ඇති බවද එම ආරංචි මාර්ග තහවුරු කරයි.
හිටපු ජනාධිපතිවරයාට පක්ෂපාත පිරිස් ශ්‍රීලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තුළ සිටින නිසා යම් තීරණාත්මක අවස්ථාවක දී පක්ෂයේ බහුතර බලය අත්පත් කර ගැනීමේ සැලසුමක් මුල දී සකස් කර තිබුණද හිටපු ජනාධිපතිවරයාට හිතවත් පළාත් පාලන හා ජාතික දේශපාලඥයින් බහුතරයකගේ මතය මේ වනවිට සියළු දෙනාට එක්විය හැකි පරිදි නව සන්ධානයක් ගොඩ නැගීම දක්වා පුළුල් වී ඇති බවද වාර්තාවේ.
කෙසේවෙතත් මේ පිළිබඳව නිල නිවේදනය වත්මන් ආණ්ඩුව විසින් මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව නිකුත් කිරීමට ද හිටපු ජනාධිපතිවරයා බලාපොරොත්තුව සිටින බවද වැඩිදුරටත් වාර්තාවේ.
ජාතික නිදහස් පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, නව වාමාංශික පෙරමුණ,ඊ.පී.ඩී.පී.පක්ෂය, පිවිතුරු හෙළ උරුමය යන පක්ෂ මේවන විටත් හිටපු ජනාධිපතිවරයාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.