මහාධිකරණ විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව 75 සිට 85දක්වා වැඩි කිරීම සඳහා අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මේවනවිට අධිකරණවල විසඳා අවසන් නොකළ නඩු විශාල ප්‍රමාණයක් ගොඩගැසී ඇති බැවින් ඒවා කඩිනමින් අවසන් කිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බවට අධිකරණ අමාත්‍යාංශය කළ යෝජනාවක් අනුව මෙලෙස මහාධිකරණ විනිශ්චයකාරවරුන් වැඩිකිරීමට තීරණය වී ඇත.
මේවසරේ මාර්තු මාසය වනවිට සිවිල් අභියාචනා මහාධිකරණවල නඩු 5,749ක්ද, වාණිජ මහාධිකරණවල නඩු 5,580ක්ද, අනෙකුත් මහාධිකරණවල නඩු 16,574ක්ද විභාග වෙමින් පැවැති අතර, එම නඩු කටයුතු විසඳීම සඳහා වර්තමානයේ මහාධිකරණවල සේවයේ යෙදී සිටින්නේ විනිශ්චයකාරවරුන් 75 දෙනෙකු පමණි.
එබැවින් අදාළ නඩු විභාග කඩිනම් කිරීම සඳහා දැනට අනුමත මහාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව 75 සිට 85 දක්වා වැඩි කිරීමට හැකි වනු පිණිස අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති අතර, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.