මහනුවරදී පසුගියදා ඇති වූ සිද්ධිය ෆේස්බුක් කල්ලියක් විසින් සිදු කරන ලද විනාශයක් බවත්, නුවර ප්‍රශ්න ඇති කළ අයට පවතින නීතිය අනුව උපරිම දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.
ඇය මේ බව පවසා සිටියේ, ඊයේ (11දා) බලන්ගොඩ ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය,
“මහනුවර ඇතිවූ සිද්ධිය ෆේස්බුක් කල්ලියක් විසින් ක්‍රියාත්මක වෙලා කරපු විනාශයක්. සමහර විට එහෙම කිව්වාම ඔබ එය පිළි නොගෙන ඉන්නත් පුළුවන්. නමුත් සත්‍යය එයයි. පසුගිය දවස් කිහිපයේ නුවර ගිනි ගත්තා. නුවරින් පටන් ගත්ත මේ ෆේස්බුක් කල්ලිය මුළු රටේම ව්‍යාප්ත කරලා තියෙන්නේ කිහිප දෙනෙකුගේ අවශ්‍යතාව වෙනුවෙන්. පැවැත්ම වෙනුවෙන්.
අපි ඕනෑම කැපවීමක් කරලා මේ රටේ යළි එවැනි තත්ත්වයක් ඇති වෙන්න දෙන්නේ නැහැ කියලා විතරක් මතක තියා ගන්න. මේ ජාතීන් අතර සමගියේ නායකත්වය ජනතාව ගත යුතුයි. මේ නගරයේ ජීවත් වෙනකොට මේක අරයගේ කඩේ, මේක මෙයාගේ කඩේ, මේක වඳ බෙහෙත් කඩේ එහෙම කියලා නැහැ අපි ඔක්කෝම එකයි. පසුගියදා අම්පාර ප්‍රදේශයේ සිද්ධියක් වුණා. වඳ පෙත්තක් පිළිබඳ සමාජයේ කතාබහට ලක්වුණා. ඒ පෙත්ත පිළිබඳ රසපරීක්ෂක වාර්තාව මේ වන විට ලබාදී තිබෙනවා. ඒ වාර්තාව අධිකරණයට ලබා දෙනවා. ඒ වාර්තාව පිළිබඳ ඔබට පුදුම හිතෙයි. මේ පෙත්තකින්ද මේ වගේ විනාශයක් වුණේ කියලා” යැයිද පවසා සිටියාය.