ආගමික නායකයන්, විද්වතුන්, වෘත්තීය සමිති නායකයන් සහ සිවිල් සංවිධාන නායකයන් එක්ව සකස් කළ මහජන නියෝජිතයෙකු සතු පොදු ගුණාංග 08 සඳහා මාර්තු 12 වැනිදා සියලුම පක්ෂවලින් එකඟතාව ලබාගන්නා බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
වසරකට අධික කාලයක සිට සියලුම පාර්ශව සමග සාකච්ඡා කර මෙම පොදු කරුණු 08 සකස් කළ බවත්, එහි පිටපත් පාර්ලිමේන්තුව නියෝජනය කරනා සියලුම පක්ෂවලට මේ වන විට ලබාදී තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය. එම පොදු කරුණු අටට අනුව කටයුතු කිරීමට එම පක්ෂ කැමැත්ත පළ කර තිබෙන බවත්, ඒ අනුව යම් මැතිවරණයකට අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේදී එම පොදු නිර්ණායක අට පදනම් කරගෙන අපේක්ෂකත්වය ලබාදෙන පොරොන්දුව මාර්තු 12 වැනිදා සියලුම පක්ෂවලින් ලබාගන්නා බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
මීට අමතරව මෙම පොදු කරුණු 08 පිළිබඳව ජනතාව දැනුම්වත් කරන බවත්, එම කරුණුවලට අදාලව මහජන නියෝජනයක් තෝරාගන්නා ලෙස සියලුම ඡන්ද දායකයන් දැනුවත් කරන බවත් ඒ මහතා පවසා සිටියේය.
පොදු ප්‍රතිපත්තියට ඇතුලත් වී තිබෙනා කරුණු වන්නේ අපරාධ වැරදිවලට වරදකරුවන් නොවූ පුද්ගලයෙකු වීම, අල්ලස් හෝ දූෂණ චෝදනාවලට වැරදිකරුවෙකු නොවීම, රජය සමග මුල්‍ය ගනුදෙනු කරන පුද්ගලයෙකු නොවීම, දේශපාලනයේ නිරත වී සිටියදී බලය අනිසි ලෙස භාවිත නොකළ පුද්ගලයෙකු වීම, කොට්ඨාසය තුළ පදිංචිකරුවෙකු වීම, ද්විත්ව පුරවැසිලාභියෙකු නොවීම, දේශපාලන පවුලකට අයත් පුද්ගලයෙකුට අවස්ථාව ලබා දීමේදී දක්ෂතාවයට පමණක් අවස්ථාව ලබාදීම, පාර්ලිමේන්තු මැතිවරණයට උසස් පෙළ සමත් හෝ ඊට ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත පුද්ගලයන්ට අවස්ථාව ලබාදීම,
පළාත් පාලන හා පළාත් සභා මැතිවරණවලදී අපේක්ෂකත්වය ලබාදීමේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ සමත් අධ්‍යාපන සුදුසුකම් සලකා බැලීම යන කරුණුය.