එ.ජා.ප. ආධාරකරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාස නවයක සිට රිමාන්ඩ්ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු සැකකරුවන් පස්දෙනාට ඇප ලබාදෙන ලෙස ඉදිරිපත් කර තිබූ ඉල්ලීම් සලකා බැලූ සබරගමුව පළාත්බද මහාධිකරණ විනිසුරුවරයා ප්‍රේමලාල් ජයසේකර හා තවත් තිදෙනෙකුගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කළේය.
දැඩි ඇප කොන්දේසි මත අනෙක් දෙදෙනාට ඇප ලබාදීමටද මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා ඊයේ (21දා) නියම කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, සබරගමු පළාත් සභාවේ එ.ජ.නි.ස. මන්ත්‍රී නිලන්ත ජයකොඩි හා නිවිතිගල ප්‍රාදේශීය සභාවේ හිටපු උපසභාපති අජිත් මලවිගුණරත්න යන මන්ත්‍රීවරුන්ට ඇප ලබාදීමට යොමුකළ ඉල්ලීම මහාධිකරණ විනිසුරුවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන ද සිල්වා සහ අසංක නාමල් යන මහත්වරුන්ට රුපියල් පන්ලක්ෂය බැගින් වන මුදල් ඇපයක් හා රුපියල් දස ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් නියම කෙරිණි.
රත්නපුර මලිති පෙරේරා