ආගම්, කුල, ජාති,පක්ෂ භේදයකින් තොරව පරිසර හිතකාමී යහපත් ගමක්, නගරයක් නිර්මාණය කිරීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
ජනතා විමුක්ති පෙරමුණෙන් පළාත් පාලන ආයතනවලට තේරී පත් වූ සභිකයන් පරිසර හිතකාමී නගරයක්, ගමක් නිර්මාණය කිරිමේ නියෝජිතයා වශයෙන් කටයුතු කරන බවද එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
සෑම මහජන ජන්දයකම වටිනාකම අරුත් ගැන්වෙන පරිදි අවංක ලෙසත්, ආදර්ශමත් ලෙසත්, යුක්තිසහගත ලෙසත් පක්ෂයට ජන්දය ලබාදුන්, නොදුන් සියලු දෙනාට සේවය කිරීමට තේරී පත් වූ සභිකයන් කටයුතු කරන බවද ඔහු පවසා සිටියේය.
ජනතා විමුක්ති පෙරමුණ යටතේ පළාත් පාලන ආයතන මැතිවරණයට තරග කර තේරී පත් වූ සභිකයන් දැනුවත් කිරීම සඳහා පෙරේදා (03දා) කොළඹදී පැවැති වැඩමුළුවට සහභාගි වෙමින් මේ බවකී පක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ මැතිවරණයේ ප්රතිඵලය විසින් ආණ්ඩුවේ පැවැත්මට මරාන්තික තර්ජනයක් එල්ල කර තිබෙන බවයි. මේ නිසා ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සිය පැවැත්ම හා සුරක්ෂිතභාවය පිළිබඳ අර්බුදයකට මුහුණපා සිටින බවද ඒ මහතා පවසා සිටියේය.
මැතිවරණයේ ප්රතිඵල මගින් ආණ්ඩුව අසාර්ථක බව සහ ප්රතික්ෂේප කිරීමට සූදානම් පාලනයක් බවපෙන්වා දීඇතැයිද හෙතෙම සඳහන් කළේය.
පක්ෂයට ජන්දය දුන් සහ නුදුන් ජනතාවගේ අනාගතය රඳා පවතින්නේ ජනතා විමුක්ති පෙරමුණ තුළ බවට හොඳින් පැහැදිලි වී තිබෙන බවත්, රනිල් වික්රමසිංහ ප්රමුඛ එක්සත් ජාතික පක්ෂයට මේ රටේ ජනතාවගේ අනාගත වගකීම පවරාගත නොහැකි බවට බොහෝ සිදුවීම්වලින් පෙන්නුම් කර තිබෙන බවත් පක්ෂ නායකයා සඳහන් කළේය.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ජනතාවගේ අනාගතය පිළිබඳ කිසිත් නොකර තමන්ගේ පැවැත්ම පිළිබඳ ප්රශ්නය වෙනුවෙන් ක්රියාකරන බවත්, 2015 ජනවාරි 08 පරාජයට පත් වූ රාජපක්ෂ කණ්ඩායම විසින් බලය අහිමි වීමේ වේදනාවෙන් හා වංචා, දූෂණ පිළිබඳ පරීක්ෂණවලට මුහුණදීමේ වේදනාවෙන් කටයුතු කරමින් සිටින බවත් හෙතෙම සඳහන් කළේය.