මෙවර ඉන්ධන ගාස්තු වැඩි කිරීමේදී රජය පෙට්‍රල් සඳහා රුපියල් 12ක බද්දක් සහ ඩීසල් සඳහා රුපියල් 06ක බද්දක් අයකර තිබෙන බවත්, භූමිතෙල් සඳහා අයකළ බද්ද කොපමණදැයි රටට හෙළිදරව් කළ යුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (15දා) පැවසීය.
ලෝක වෙළෙඳ පොළේ ඛනිජ තෙල් මිල ඉහළ යෑමට සාපේක්ෂව ඉන්ධන මිල ඉහළ දමා ඇති බවට රජය සඳහන් කරන කරුණ අසත්‍යයක් බවත්, ආණ්ඩුවේ බදු ආදායම ඉහළ දමා ගැනීම මෙහි අරමුණ වී තිබෙන බවත් ජයගොඩ මහතා ප්‍රකාශ කළේය.
ලෝක වෙළෙඳ පොළේ ඛනිජ තෙල් මිල පහත යන අවස්ථාවේදී වැඩිපුර තෙල් තොග ගෙනැවිත් ගබඩාකර ලෝක වෙළෙඳ පොළේ ඛනිජ තෙල් මිල ඉහළ යන අවස්ථාවේදී පාරිභෝගිකයන්ට අඩු මිලට අලෙවි කිරීමට හැකියාව තිබෙන බවත්, ආණ්ඩුවට එවැනි කූඹි මොළයක් නොමැති බැවින් ජනතාව මත පීඩනය පටවා තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.
බත්තරමුල්ල, උඩුමුල්ල පාරේ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පවසා සිටියේය.