“ශ්‍රී ලංකා මහා බැංකුවේ අයිතිය ඇත්තේ රටේ මහා ජනතාවටයි මහා බැංකුව බංකොළොත් වුණොත් රටට විශාල හානියක් සිදුවෙනවා” යැයි බැදුම්කර කොමිසම හමුවේ විශේෂඥ සාක්ෂියක් ලබා දෙමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ විශ්‍රාමික නියෝජ්‍ය මහා බැංකු අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා පැවසීය.මහ බැංකුව බංකොළොත් වුවහොත් මුදල් ආයෝජනය කිරීම පිළිබඳව ජනතා විශ්වාසය නැතිවෙන බවත් විදේශ ආයෝජන නතර වෙනවීමට මෙන්ම බදු මුදල් ඉහළ යාමටත් එය බලපාන බව හිටපු නියෝජ්‍ය අධිපතිවරයා සඳහන් කළේය. මෙවැනි තත්වයක් ලතින් ඇමරිකානු රටවලට සිදුවූ බවත් එහෙයින් තමා ලියු ලිපියක් මඟින් ඒ පිළිබඳව රජයත්, ජනතාවත්, දැනුවත් කළ බවත් විජේවර්ධන මහතා පැවැසීය.
“2013 වසරේදී ශ්‍රී ලංකා මහා බැංකුවට රුපියල් බිලියන 22ක පාඩුවක් සිදුවු බවත් 2014 වසරේදී මහා බැංකුවට රුපියල් බිලියන 32ක පාඩුවක් සිදුවු බවත් මා ලියු ලිපියක සඳහන් කළා. ආදායමට වඩා වියදම වැඩි වීම නිසා මෙය සිදුවී තියෙනවා. ඒ නිසා මෙය ජනතාවට කෙරෙන අනතුරු හැඟවීමක් ලෙස මා සඳහන් කළා.”
2015 පෙබරවාරී 27 වැනිදා පැවැත්වු බැදුම්කර වෙන්දේසියෙන් පසුව පොළි අනුපාත ඉහළ යෑම නිසා විදේශිකයින් විදේශ සංචිත ඉවත් කර ගත් බවත් අපේ‍්‍රල් මාසයේදී පමණක් රුපියල් බිලියන 2.2ක විදේශ සංචිත ඉවත් කර ගත් බවත් ඔහු පැවසීය. එසේම ඒ හරහා රජයට රුපියල් මිලියන 535ක ක්ෂණික පාඩුවක් වූ බවත් ඔහු සඳහන් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.
මනෝප්රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ