බදුල්ල දිස්ත්‍රික්කය තුළ පිහිටි පාසල් 19 ක් නාය යාමේ දැඩි අවදානමක පවතින බව ජාතික ගොඩැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තා මගින් තහවුරු වී ඇතැයි ඌව පළාත් සභා (ජ.වි.පෙ.) මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.
අදාළ පාසල්වල ඉගෙනුම ලබන 7168 ක් පමණ වූ දරු දැරියන්ගේ හා 424ක් වන ගුරුවරුන්ගේ ආරක්ෂාව හා අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම උදෙසා කඩිනම් පියවරක් ගත යුතු බවට යෝජනාවක් ඉකුත් ඌව පළාත් සභා රැස්වීමට ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේය.
"මේ පාසල් වැඩි ගණනක් ලංකාවට නිදහස ලැබෙන්නත් පෙර පිහිට වූ පාසල්. වර්ෂ 1885 ස්ථාපිත කළ පාසල් ද ඒ අතර තිබෙනවා. කහගොල්ලවත්ත දෙමළ විදුහල, වල්හපුතැන්න විදුහල, උඩවේරිය බටහිර විදුහල, මීරියබැද්ද දෙමළ විදුහල, වැවේගම මහ විදුහල, දියතලාව දෙමළ විදුහල, උඩුකුඹල්වෙල සුදර්ශී විදුහල, කිනලන් දෙමළ විදුහල, ගෝණකැලේවත්ත දෙමළ විදුහල, කණවැරල්ල අංක 01 විදුහල, පිංඅරාව දෙමළ විදුහල, වැලිමඩ විජය විදුහල, වල්ලූර් දෙමළ විදුහල, කොබෝ දෙමළ විදුහල, මේමලේ දෙමළ විදුහල, කෙලෙවානි දෙමළ විදුහල, කණවැරල්ල අංක 03 විදුහල් මෙසේ අවදානමට ලක්ව තිබෙන අතර රාහුපොල මුස්ලිම් විදුහල පමණක් මේ තත්ත්වය මත වසා තිබෙනවා.
එසේම ලියන්ගහවෙල, බැද්දෙඅරාව, මකල්දෙණිය යන විදුහල්ද උමා ඔය ව්‍යාපෘතියත් සමගම බණ්ඩාරවෙල නගරයේම ඇති ධර්මාශෝක විදුහල සහ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයද මෑතක සිට මේ අවදානම සහිත විදුහල් අතරට එක්ව තිබෙනවා. එම නිසා මෙම පාසල්වල දරු දැරියන්ගේ ආරක්ෂාව, අධ්‍යාපනය හා අනාගතය පිළිබඳව මහජන නියෝජිතයන් ලෙස අප කඩිනම් පියවර ගත යුතුයි" යැයිද පවසා සිටියේය.
හාලිඇල- විජේරත්න රත්නායක