බටහිර අප්‍රිකාවෙන් පිටදී ඉබෝලා වැළඳුණු ප්‍රථම රෝගියා සුවය ලබා යයි
බටහිර අප්‍රිකාවෙන් පිට දේශයකදී ඉබෝලා වෛරසයට ගොදුරු වූ ප්‍රථම පුද්ගලයා වන ස්පාඤ්ඤ ජාතික හෙදිය සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව වාර්තා වෙයි.
තෙරේසා රොමේරෝ නම් වූ ඇය රෝහලෙන් පිටව යද්දී හැඟුම්බරව කියා සිටියේ තමන් මියැදෙන බව දැනෙන විට ඥාතීන්ගෙන් වෙන්වීමේ වේදනාව දැනුණු බවයි. ඒ වගේම, තමන්ට කිනම් හේතුවක් නිසා රෝගය වැළඳුනේද යන්න නොදන්නා බවත් ඇය කීවාය.
බටහිර අප්‍රිකාවේ ඉබෝලා වෛරසයට ගොදුරු වූවන්ට සහන සේවා සැලසීමට ගිය සපාඤ්ඤ ජාතිකයන් දෙදෙනෙකු වෛරසය ශරීරගත වී වැඩිදුර ප්‍රතිකාර සඳහා නැවත ස්පාඤ්ඤයට ගෙන ආ විට ඔවුන්ට සාත්තු සප්පායම් කළ හෙදියක ලෙස තෙරේසා හඳුනාගෙන තිබුණි. කෙසේ වෙතත්, පෙර කී පුද්ගලයන් දෙදෙනා පසුව රෝගය හේතුවෙන් මියගිය අතර, වැඩි කලක් නොගොස් තේරේසාටද වෛරසය ශරීරගත වී ඇති බව කියවුණි.
සුවය ලබා රෝහලෙන් පිටව යන විට ඇය ස්පාඤ්ඤ බලධාරීන්ට චෝදනා කළේ තම සුරතලාව ඝාතනය කිරීම හේතුවෙනි.
ඇගේ සුරතල් සුනඛයාටත් වෛරසය ශරීරගත වී ඇති බව පවසමින් ස්පාඤ්ඤ බලධාරීහු ඇගේ පවුලේ ඥාතීන්ගේ කීම මෙන්ම, සුනඛයා නොමරන ලෙසට ජනතා විරෝධයක්ද පැන නගිද්දී එම සත්වයා මරා දැමීම අනවශ්‍ය ඝාතනයක් බව ඇය අවධාරණය කළාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
