සියලුම පෞද්ගලික රෝහල්, වෛද්‍ය මධ්‍යස්ථාන, රසායනාගාර මධ්‍යස්ථාන, හෙද පුහුණු පාසල් සහ ගිලන්රථ සේවා මෙන්ම පුර්ණකාලීන සහ අර්ධකාලීනව රාජකාරියේ නියුතු සියලුම වෛද්‍යවරුන් පෞද්ගලික වෛද්‍ය නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වීමට මාසයක කාලයක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
2018 ජනවාරි මස 01 සිට 31 වැනිදා දක්වා කාලය තුළ එම ලියාපදිංචි කිරීම සිදු කළ යුතු අතර එම කාලය තුළ ලියාපදිංචි නොවන අදාළ සියලු අංශවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික රෝහල් නියාමන ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතාට අද (14) නියෝග කළේය.
පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වැඩපිළිවෙළ සඳහා කේ.පී.එම්.ජී ජාත්‍යන්තර සමාගම සකස් කළ වාර්තාව සමාලෝචනය කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම නියෝගය නිකුත් කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව පැවැත්වුණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ මෙවැනි සහන කාලයක් යළි ලබානොදෙන බවයි. මෙම වැඩපිළිවෙළ තුළින් ව්‍යාජ සෞඛ්‍ය මධ්‍යස්ථාන සහ වෛද්‍යවරුන් පිළිබඳව කරුණු අනාවරණය කර ගැනීමෙන් පසු ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.