2011 වසරේදී යාපනය චුන්නාගම් ප්රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට පොලීසිය තුළදී පහරදීමකින් මිය යාම නිසා අත්අඩංගුවට පත් චුන්නාකම් ස්ථානාධිපතිවරයා ඇතුළු 6 දෙනෙකුට බරපතළ වැඩ සහිතව වසර 10 ක සිරදඬුවම් යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා ඊයේ (03) නියෝග කළේය.
2011 වසරේ නොවැම්බර් 21 වැනිදා යාපනය චුන්නාකම් ප්රදේශයේ නිවසකට මංකොල්ලකරුවන් පිරිසක් ඇතුළු වී රුපියල් ලක්ෂ 3,390,000 ක මුදල් රත්රන් කොල්ලකෑමක් හේතුවෙන් එවකට චුන්නාකම් පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කෙසේ වෙතත් 2016 ජූලි මස 25 වැනිදා අදාළ නඩුව මල්ලාකම් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී අත්අඩංගුවට පත් එක් සැකකරුවෙකු අධිකරණය හමුවේ කියා සිටියේ, පොලිස් නිලධාරීන්ගේ පහරදීම් හමුවේ එක් සැකකරුවෙකු මිය යනු අයුරු තමන් සහ යහළුවා දුටු බවයි. ඉන් දින කිහිපයකට පසුව අදාළ සැකකරුගේ මළ සිරුර කිලිනොච්චියේ වැවක තිබී හමුවී තිබේ.
පසුව එම ප්රකාශයත් සිදුවීමත් සටහන් කරගත් මල්ලාකම් මහේස්ත්රාත්වරයා අදාළ සිදුවීම රහස් පොලීසියට භාර දෙන ලද අතර ඉන්පසුව රහස් පොලීසියේ පරීක්ෂණවලින් පසුව චුන්නාකම් හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 08 දෙනෙකු රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන යාපනය මහාධිකරණයේ නඩුව පවරන ලදී.
මේ අනුව අත්අඩංගුවේ පසු වූ පොලිස් නිලධාරීන් 08 දෙනාගෙන් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කෙරෙන අතර ඉතිරි 06 දෙනාට මෙසේ බපරපතළ වැඩ සහිතව වසර 10 ක සිරදඬුවමක් නියම කෙරිණි.