පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සම්බන්ධයෙන් හා ආරක්ෂක නිලධාරීන් අධිකරණයට රැගෙන යාම සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිතුමන් කළ ප්‍රකාශය පිළිබඳව තමන්ට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත්, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සියදිවි හානි කරගත් යුද හමුදා නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් සීඅයිඩිය විසින් පරික්ෂණ ආරම්භකොට ඇති බවත් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පැවසුවේය.
පොලිස්පතිවරයා එසේ පැවසුවේ ඊයේ (15දා) වවුනියාවේ ඊච්චන්කුලම හා බෝගස්වැව යන ප්‍රදේශවල නව පොලිස් ස්ථාන දෙකක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වීමෙන් පසුව මාධ්‍යවේදීන් පොලිස්පතිවරයාගෙන් ඒ ගැන විමසූ අවස්ථාවේදීයි.
‘ලසන්ත වික්රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදුකෙරෙනවා. ඒ වගේම සියදිවි හානි කරගෙන මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙනුත් වෙනම පරීක්ෂණයක් කෙරෙනවා. තාම අපිට මේ පුද්ගලයාගේ ප්‍රකාශය ගැන නිශ්චිතවම දෙයක් කියන්න බැහැ. ඒ ගැන විශේෂ කරුණු කාරණා කිහිපයක් බලන්න තියෙනවා. ඔහුට පෞද්ගලික හේතූන් තියෙනවද, රාජාකාරී හේතූන් තියෙනවද, නැත්තම් මානසික පීඩනයක්ද, නැත්තම් තර්ජනයක්ද කියල බලන්න වෙනවා. කෙනෙක් එහෙම ප්‍රකාශයක් කළ පමණින්ම අපිට තීරණයකට එන්න බැහැ. ඒ නිසා ඒ පිළිබඳව කෑගල්ලෙන් කෙරෙන පරික්ෂණ වලට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වෙනම පරීක්ෂණයක් ආරම්භ කරල තියනවා* යනුවෙන් හෙතෙම පැවසීය.