පොලිතින් තහනම් කිරීම පිළිබඳ නව ගැසට් පත්‍රයක් කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී ඇත.
එසේම කසළ කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ඒ ඒ අමාත්‍යාංශ සහ පළාත් පාලන ආයතනවල යෝජනා ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.
පළාත් පාලන කොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍ය නිළධාරින් සමග අද (09දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකදී ජනපතිවරයා මෙම උපදෙස් දි තිබේ.
කසළ කළමනාකරණයේ දී පළාත් පාලන ආයතන මුහුණ දී ඇති ගැටලු සහ ඒ සඳහා ගෙන ඇති විසඳුම් මෙන්ම ඉදිරියේදී ගතයුතු පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා විසින් දිවයිනේ සියලු පළාත් පාලන කොමසාරිස්වරුන් මෙම සාකච්ඡාව සඳහා කැඳවා තිබුණි.
මෙහිදී පළාත් පාලන කොමසාරිස්වරුන් විසින් ඒ ඒ පළාත්වල කසළ කළමනාකරණය සඳහා ගෙන ඇති පියවර සහ එහිදී මතුව ඇති ගැටලු පිළිබඳ ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළහ.
කසළ කළමනාකරණය සඳහා ඉදිරි කි‍්‍රයාමාර්ග ගැනීමට පරිසර අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය විසින් ලබාදිය යුතු විමර්ශන වාර්තාව කඩිනමින් ලබා දෙන ලෙස ද මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිවරයා පුත්තලම අරුවක්කලු කසළ බහලුමේ කටයුතු කඩිනම් කිරීමට ද උපදෙස් දී ඇත.
ශ්‍රී ලංකාවේ කසළ කඳු පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් මේ වන විට සකස් කර තිබෙන අතර ඒ අනුව දිවයින පුරා කසළ බැහැරකරන ස්ථාන 200 ක් පමණ පවතින බව අනාවරණය කෙරිණි. ඉන් 25 ක්ම පිහිටා තිබෙන්නේ බස්නාහිර පළාතේ වන අතර එම කසළ කඳු 200 අතරින් ගැටලුකාරී තත්ත්වයන් මතුව ඇත්තේ කසළ කඳු 20 කට අදාළව පමණක් බව ද මෙහිදී සඳහන් කෙරිණි.