ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුනොකර පාර්ලිමේන්තු මැතිවරණයකට නොයන ලෙස ජාතික හෙළ උරුමය, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සහ 'පිවිතුරු හෙටක්' ජාතික සභාව එක්ව ඊයේ (11දා) රජයට අවධාරණය කළේය.
කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එම සංවිධානවල නායක හිමිවරුන් අවධාරණය කර සිටියේ, ජනතාවට ලබාදුන් පොරොන්දු අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සහ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම යන පොරොන්දු ඉටු නොකරමින් මැතිවරණයකට ගියහොත් පසුගිය ආණ්ඩුවට අත්වූ ඉරණමම වත්මන් ආණ්ඩුවටද අත්වන බවයි.
කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි, ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි සහ පිවිතුරු හෙටක් ජාතික සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි එක්ව මෙහිදී සඳහන් කළේ, ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව මහ මැතිවරණයක් පැවැත්වීමට රජය ගන්නා උත්සාහයන් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.
මෙහිදී අදහස් දැක්වූ ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ,.jpg)
'කල්‍යාණ මිත්‍ර‘යෙකු ලෙස රජය යහමගට ගන්නයි මේ උත්සාහ කරන්නේ. ඉදිරි කාලය තුළවත් නිවැරදි මගට ඇවිල්ලා වංචා දූෂණ පිළිබඳව තොරතුරු හෙළිදරව් කරලා වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමට මේ රජය වහාම පියවර ගත යුතුයි. නොඑසේ නම් ඒකෙ දඬුවම විඳින්නටත් මේ ආණ්ඩුවට සිදුවන බව දැඩිව මතක් කරනවා.' යැයි පැවසූහ.
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ,
'ජනවාරි 08 ලබාගත් ජයග්‍රහණය එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්,
හෙළ උරුමය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය වගේ සියලු දේශපාලන පක්ෂ එකතු වෙලා ලබාගත්තේ. ඒ වගේම සියලු ආගම් එකතු වෙලා ලබාගත් ජයග්‍රහණයක්. ඒ පොදු ජන ජයග්රහණයේදී මේ දවස් සීය තුළ ප්‍රධාන මාතෘකා තුන ජයග්‍රහණය කළ හැක්කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබියදී පමණයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියනවා මේකට පූර්ණ සහාය දෙන බව. මෙහෙම තිබියදී මේක අහක දාන්න හදන්නෙ. මේක සම්මත කරගන් නැතිව පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දයක් තියලා හිතනවාද කල්ප ගණනකට ආයේ මේ වගේ අවස්ථාවක් ලැබේවි කියලා. ආයේ තුනෙන් දෙකේ බලයක් ලැබෙන්නෙ නෑ. මේ වෙලාවෙ ව්‍යවස්ථා සංශෝධනය නොකරගත්තා නම් ඒක ජාතික අපරාධයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියෙන් ඉද්දී මේ මන්දගාමී බව අනුගමනය කරන්නේ ඇයිද කියන එක අපිට ප්‍රශ්නයක්.' යැයි පවසා සිටියහ.
පිවිතුරු හෙටක් ජාතික සභාවේ සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමි,.jpg)
'මේ ආණ්ඩුවත් එක්ක අපි කටයුතු කරන්නෙ ආණ්ඩුවෙ පාර්ශ්වකරුවෙකුට වඩා ජනතා අපේක්ෂා ඉෂ්ට කරන තැන ඉඳගෙනයි. අවාසනාවකට මැතිවරණ ක්‍රමය පිළිබඳ සාකච්ඡා පටන් ගත්තෙ ඊයේ දිනයේදීයි. හරි නම් ජනවාරි මාසයේ මුල් සතියේ මේ සාකච්ඡා පටන් ගන්න තිබුණා. දැන් කියනවා ප්‍ර‘දේශ නිර්ණය කිරීම හා ඡන්ද කොට්ඨාස බෙදාදීමට කාලයක් ගත වන බැවින් මේ අවස්ථාවේ කරන්න බෑ කියලා. මැතිවරණ කොමසාරිස් බොහොම පැහැදිලිවම කියලා තියෙනවා. දින තිහකින් කින් මෙය කරන්න පුළුවන් කියලා. දැනටමත් දින හැටක් ගත කරපු එකයි ප්‍රශ්නෙ. එක්සත් ජාතික පක්ෂයට මැතිවරණයක් අවශ්‍ය නම් ඉතා ඉක්මනින් තිබ්බට අපේ විරෝධයක් නෑ. හැබැයි අනිවාර්යයෙන්ම විධායක ජනපති ධුරයේ බලතල අහෝසි කරලා හා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමත්, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීමත්, මැතිවරණයට පෙර අනිවාර්යයෙන්ම සිදුකළ යුතුයි.
මේ පාර්ලිමේන්තුවට තව අවුරුද්දකට වඩා යන්න පුළුවන්. ඒ නිසා දින සීය දින එකසීය දහයක් වුණාට කවුරුත් කෑ කෝ ගහන්නෑ. ඒකට නැකතක් නෑ. අර කලින් වගේ ජ්‍යෝතිෂඥයෝ මත මේ පාලකයො තීරණ ගන්න හොඳ නෑ.
දැනටත් එහෙම ජ්‍යොතිෂ කතන්දරයක් යමින් තියෙනවා. හඳහන් පත්‍ර අනුව කටයුතු කරන්නැතිව, රටේ ජනතාවගේ හඳහන අනුව කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. හැබැයි ඊළඟ මැතිවරණය මනාප ක්‍රමය නැති මැතිවරණයක් බවට අනිවාර්යයෙන්ම පත්කළ යුතුමයි.'යැයි ප්‍රකාශ කළහ.
ඊයේ රැස්වූ ජාතික විධායක සභාවේදී ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධව නිශ්චිතව සාකච්ඡා නොකරමින් වෙන වෙන අවශේෂ කාරණා සම්බන්ධව පමණක් සාකච්ඡා කළ බවද අතුරලියේ රතන හිමියෝ මෙහිදී සඳහන් කළහ.
එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙම රැස්වීමට ආරාධනා කර නොතිබුණු බැවින් එම පක්ෂයේ කිසිවෙකු නියෝජනය නොකළ බවත්, මේ හේතුවෙන් ප්‍රධාන පක්ෂ දෙක අතර පරස්පරතාවක් හටගෙන ඇති බවත් උන්වහන්සේ පවසා සිටියහ.
ඡායාරූප - ඉසුරු පෙරේරා