පොදු අපේක්ෂක තෝරා ගැනීමේ අවසන් සාකච්ඡා අද
ඉදිරි ජනාධිපතිවරණයට විපක්ෂයෙන් ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා සම්බන්ධව තීරණාත්මක අවසන් සාකච්ඡාව අද (07දා) කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් සහ දේශපාලන පක්ෂ රැසක නායකයින් සහභාගිවීමට නියමිතය.
මේ සඳහා එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ප්රජාතන්ත්රවාදී පක්ෂය, ජාතික හෙළ උරුමය, මනෝ ගනේෂන්, අසාද් සාලි යන මහත්වරුන්ගේ දේශපාලන පක්ෂ ඇතුළුව විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක් සහභාගීවන බවට තහවුරු කර තිබේ.
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නියෝජිතයෙකු සඳහන් කළේ පොදු අපේක්ෂකයා සඳහා පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් සහ එක්සත් ජාතික පක්ෂ නායකයෙකුගේ නම මේ සඳහා යෝජනාවී තිබෙන බවය.
මීට පෙර එක් එක් දේශපාලන පක්ෂ සමග කළ සාකච්ඡාවලදී මාදුළුවාවේ සෝභිත හිමියන්ට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නැයි ඉල්ලීම් ඉදිරිපත්වූ බවත්, ඒ අතර, එක්සත් ජාතික පක්ෂ නායකයෙකුගේ නමද යෝජනා වූ බවත් එම නියෝජිතයා සඳහන් කළේය.
මේ වනවිට සාකච්ඡා සාර්ථක වී තිබෙන බව සඳහන් කරන සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය අද දින පවත්වන සාකච්ඡාවේදී අවසන් තීරණයකට එළඹීමට හැකිවනු ඇතැයි ද කියා සිටියි. අනතුරුව හෙට (08දා) හෝ අනිද්දා (09දා) දින ප්‍රසිද්ධ පුවත්පත් සාකච්ඡාවක් කැඳවා පොදු අපේක්ෂකයා කවුරුන්ද යන්න රටට දැනුම් දෙන බවද එම ව්‍යාපාරය කියයි.
මේ අතර කඨින පිංකම් රැසක් සඳහා ඉකුත් 01 වැනිදා දඹදිව සංචාරයකට ගිය පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් මෙම සාකච්ඡාවට සහභාගීවීමට ඊයේ (06දා) සවස යළි දිවයිනට පැමිණි බවද වාර්තා වෙයි. එසේම විදේශගතව සිට මීට දින කිහිපයකට පෙර මෙරටට පැමිණි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද පොදු අපේක්ෂකයා තෝරාගැනීමේ කාර්යභාරයේ තීරණාත්මක කොටසකට දායක වෙමින් සිටි බවද දැනගන්නට තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

