ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් වෙනත් පක්ෂවල මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා එක්වන්නේ නම්, ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එහි මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බලය පැවරුවද, ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම විපක්ෂයට ගොස් සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එකඟත්වයෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
යම් හෙයකින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා ඔවුන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට කටයුතු කළහොත් ඒ හරහා එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් වනු ඇති බවත්, එසේ තීරණයක් ගන්නේ නම්, එය සිදුකරන්නේ එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීමේ අදහසින් බවත් මන්ත්‍රීවරයා පවසා සිටියේය.
එසේම පළාත් පාලන මැතිවරණය සඳහා ඒකාබද්ධ විපක්ෂය පුළුල් සන්ධානයක් යටතේ තරග කරන බවත්, එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැබෑ ප්‍රතිපත්ති ආරක්ෂා කරගනිමින් කටයුතු කරන බවත් ඔහු පැවසීය.
“අපි පුළුල් සන්ධානයක් යටතේ පොදුජන පෙරමුණෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ඇතිකර ගත් එකඟතාවක් අනුවයි.
අපි තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැබෑ ප්‍රතිපත්ති ආරක්ෂා කරන්නෙ. අපි පක්ෂයේ විනය කඩලා නැහැ. පොදුජන පෙරමුණට ඡන්දයක් දුන්නා කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා වෙනවා කියන එකයි.
කවුරු හරි අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්ව අත්හිටුවා අපිව පාර්ලිමේන්තුවෙන් එළියට දානවා කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ බලය ශක්තිමත් කරන එකයි. ඒ වගේම එවැනි තීරණයක් ගන්නේ නම් එය ගන්නෙත් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීමේ අදහසිනුයි” යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.