පුත්තලම-අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැවදී අද (21දා) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ගමන් කරමින් තිබූ මෝටර් රථය යතුරු පැදියක ගැටීමෙන් සමෘද්ධි නියාමකවරියක තුවාල ලබා ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි කරුවලගස්වැව පොලීසිය පවසයි.
මෙලෙස රෝහල් ගතකර ඇත්තේ, කරුවලගස්වැව කුඩා මැදවච්චිය පදිංචි සේනාධිපති මුදියන්සේලාගේ පද්මිණී (අවු.52) නමැති කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන සමෘද්ධි සංවර්ධන නිලධාරිනියකි.
මෝටර් රථය තවත් වාහනයක් පසුකර යෑමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් ගමන් කරමින් තිබූ යතුරු පැදියේ ගැටී ඇතැයි පරීක්ෂණවලදී හෙළිව තිබේ.
අනතුරින් පසුව ඒ සමගම පැමිණ වෙනත් වාහනයක නැගී පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පිටත්ව ගොස් ඇති අතර, සැකපිට අත්අඩංගුවට ගත් එම වාහනයේ රියදුරු රතන හිමියන් එම වාහනයේ සිටි බව පොලීසියට පවසා තිබේ.
සැකකරු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් කරුවලගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
කරුවලගස්වැව - ජයරත්න වික්‍රමාරච්චි