දශක හතරකට පසුව ශ්රී ලංකා ජනාධිපතිවරයෙකුට රුසියාවේ නිල සංචාරයක් සඳහා ආරාධනා ලැබුණු පළමු අවස්ථාව සනිටුහන් කරමින් රුසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා අතර නිල හමුවක්අද (23දා) පස්වරුවේ පැවැත්විණි.
රුසියානු ජනාධිපතිවරයාගේ නිල මන්දිරය වන ක්රෙම්ලින් මන්දිරය වෙත පැමිණි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
රාජ්ය නායක දෙපළ අතර පැවැති සුහද කතාබහෙන් අනතුරුව ද්වි පාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි. ශ්රී ලංකා - රුසියානු ද්වි පාර්ශ්වික සබඳතාවලට 60 වසරක් සපිරෙන අවස්ථාවේ සිදුවූ මෙම හමුව පිළිබඳ මෙහිදී සිය සතුට පළකළ රුසියානු ජනාධිපතිවරයා, දෙරටේ ආර්ථික, වෙළෙඳ මෙන්ම දේශපාලන සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට කටයුතු කරන බව ප්රකාශ කළේය.
එමෙන්ම ශ්රී ලංකාවට ලබාදිය හැකි සෑම සහායක්ම ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.තම ආරාධනය පිළිගෙන රුසියාවේ නිල සංචාරයක නිතරවීම පිළිබඳව ව්ලැඩ්මීර් පුටින් මහතා මෙහිදී ජනාධිපතිවරයා වෙත සිය ස්තුතිය පළකළේය.
ගෝවා සමුළුවේදී කෙටි වේලාවක් තුළ ගොඩනැගුණු මිත්රත්වය මත මෙවන් නිල ආරාධනයක් සිදුකිරීම පිළිබඳ මෙහිදී රුසියානු ජනාධිපතිවරයා වෙත තම ස්තුතිය පළකළ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා, ලොව බලවත් නායකයෙකුගෙන් හිමිවූ මෙම කුළුපඟ මිත්රශීලීත්වය පිළිබඳ තමන් ඉතා ආඩම්බර වන බවත්, මෙම ආරාධනය දෙරටේ සබඳතා ශක්තිමත් කරගැනීමට ලැබුණු අනර්ඝතම අවස්ථාවක් ලෙස සලකන බවත් හෙතෙම පවසා සිටියේය.
ශ්රී ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශ්වික සබඳතා සවිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 04කටද අද රාජ්ය නායකයන් ඉදිරියේ අත්සන් තැබේ. රුසියාව සහ ශ්රී ලංකාව අතර ධීවර සහයෝගිතාව ඉහළ නංවා ගැනීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට, තාක්ෂණික සහයෝගිතා අවබෝධතා ගිවිසුමකට, සංස්කෘතික කටයුතු පිළිබඳ අවබෝධතා ගිවිසුමකට සහ සංචාරක කටයුතු පිළිබඳ අවබෝධතා ගිවිසුමකට මේ අනුව අත්සන් තැබීමට නියමිතය.