ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත සමස්ත පොළොන්නරු දිස්ත්‍රික්කයම ආවරණය කරමින් ක්‍රියාත්මක 'පිබිදෙමු පොළොන්නරුව' යෝධ සංවර්ධන වැඩපිළිවෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16දා) සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
අධ්‍යාපන, කෘෂිකර්ම, සෞඛ්‍ය, ගොවිජන සේවා, වාරි මාර්ග, වන සංරක්ෂණ, මාර්ග, ප්‍රවාහන, නාගරික පොදු පහසුකම්, ඉඩම් හා නිවාස, ජීවනෝපාය හා ව්‍යවසායකත්ව සංවර්ධන, සමූපකාර සංවර්ධන, පුරාවිද්‍යා හා ආගමික, ක්‍රීඩා ඇතුළු විෂය ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කෙරෙමින් මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව ඔක්තෝබර් 16 වැනිදා පෙ.ව. 10.00 ට 'පිබිදෙමු පොළොන්නරුව' සංවර්ධන වැඩසටහන් පිළිබඳ සාකච්ඡා කිරීම මූලික අරමුණ කරගනිමින් දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම පැවැත්වෙන අතර, එදිනම ප.ව. 2.00 ට හිඟුරක්ගොඩ සති පොළ ජනතා අයිතියට පත් කිරීමද සිදු වේ.
ඔක්තෝබර් 17 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව. 10.00 ට අරලගංවිල, විලයාය මධ්‍ය මහා විද්‍යාලයේදී ඉදිරි සිවු වසරක කාලය තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති රජරට නවෝද්‍යා ජනපති වැඩසටහන %පිබිදෙමු පොළොන්නරුව^ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ සමාරම්භක උත්සවය පැවැත්වේ.
අනතුරුව ජනාධිපතිවරයා අතින් විද්‍යාලයීය තාක්ෂණික ගොඩනැගිල්ල විවෘත කිරීම හා මහවැලි 'බී' සහ 'සී' කලාප ජානපදිකයන්ට ඉඩම් බලපත්‍ර ප්‍රදානයද සිදු කිරීමට නියමිතය.
එදින සවස 2.00 ට ඉරහඳ කෙටූවැව මහා විද්‍යාලයේ තාක්ෂණික ගොඩනැගිල්ල විවෘත කිරීම හා මහවැලි ජී කලාපයේ ජානපදිකයන්ට ඉඩම් බලපත්‍ර ප්රදානය කෙරේ. එමෙන්ම සවස 3.30 ට අත්තනකඩවල මහා විද්‍යාලයේ තාක්ෂණික ගොඩනැගිල්ල විවෘත කිරීමද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන අතර, මෙම අවස්ථාවට සහභාගී වන මෙන් සියලු ජනතාවට උත්සව කමිටුව ඇරයුම් කරයි.