මීට සතියකට පමණ පෙර බඳගිරිය වෙහෙරගොඩ ප්‍රදේශයේ දඩයක්කරුවෙකු විසින් අටවන ලද මද්දකට හසුවීමෙන් ඉදිරිපස දකුණු පාදය දැඩි ලෙස තුවාල ලබා සිටි ඇතින්නක එම තුවාලය හේතුවෙන් අද (28දා) මරණයට පත්ව තිබේ.
උඩවල ඇත් අතුරු සෙවණේ පශු වෛද්‍ය මාලක අබේවර්ධන ප්රමුඛ වනජීවී නිලධාරීන් කණ්ඩායමක් ඇතින්නට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සිදුකරන ලදී.
කෙසේ වුවද ඇතින්න ඉතා දුර්වල තත්ත්වයේ සිටි බවත්, මියගිය ඇතින්නට වයස අවුරුද්දක පමණ පැටවෙකුද සිටින බවත් වනජීවී නිලධාරීහු පවසති.
මවු ඇතින්නගේ මියයෑමත් සමග අලි පැටවා අලි රංචුවට එක්ව ඇතැයි විශ්වාස කරන බවත්, කෙසේ වුවද අලි පැටවා නිසැකයෙන්ම අලි රංචුවට එක්වීද යන්න සොයා බැලීම සඳහා කටයුතු කරන බවත් හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ජේ.ඒ.පී. විජය කුමාර මහතා පැවසීය.
හම්බන්තොට සිදුකරන සංවර්ධන කටයුතු හා නීතිවිරෝධී වන විනාශය හමුවේ වනඅලි හා මිනිසුන් දැඩි පීඩාවන්ට ලක්වෙමින් තිබේ.
එමෙන්ම හම්බන්තොට වන විනාශය හමුවේ වාස භූමි අහිමි වන වනඅලින් මේ වනවිට හම්බන්තොට ප්‍රධාන මාර්ග ආසන්නයට පැමිණීම නිසා එම මාර්ගවල ගමන් කරන ජනතාවටද තර්ජනයක් වී තිබේ.