ප්‍රසූත වේදනාවෙන් සිටි මවක ත්‍රි‘රෝද රථයකින් පිඹුර මූලික රෝහලට රැගෙනවිත් රෝහලේ ට්‍රොලියකට නංවන අවස්ථාවේදී ඇය ප්‍රසූත කළ බිළිඳා බිමවැටී මරණයට පත්වීමේ සිද්ධියක් කළුතර නාගොඩ මහ රෝහලේ පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ ගීතියකන්දවත්ත, ඉහළ කුඩලිගම කොටසේ පදිංචි ජෝදි මෝහන කුමාරි (අවු.34) නමැත්තියගේ දෙවැනි පිරිමි දරුවාය. වැලිපැන්න හදිසි මරණ පරීක්ෂක නිහාල් ජයනෙත්ති මහතා ඉදිරියේ පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබාදෙමින් ගීතියාකන්දවත්ත පදිංචි කන්නන් වසන්ත කුමාර (අවු.22) නමැති අය මෙසේ පැවසීය.
“මියගොස් ඇත්තේ මගේ අක්කා බිහිකළ දරුවා. සිද්ධිය වූ දින ප්‍රසව වේදනාවෙන් සිටි අක්කාව මාත්, නැන්දාත් ත්‍රිරෝද රථයකින් පිඹුර රෝහලට ගෙන ආවා. අක්කා ත්‍රි‘රෝද රථයෙන් බැස රෝහලේ ට්‍රොලියට නගින්න හදන විට ඇය ප්‍රසූත කර සිටි දරුවා බිම ඇද වැටුණා. පසුව රෝහල් කාර්යමණ්ඩලය අක්කාත්, දරුවාත් නාගොඩ රෝහලට යැව්වා. දරුවා එහිදී මියගියා"
නීලකම්ගම් රදී දේවි (අවු.34) යන අය සාක්ෂි දෙමින් මෙලෙස පවසා සිටියාය.
"මියගොස් ඇත්තේ මගේ මල්ලිගේ විවාහක බිරිඳ ප්‍රසූත කළ දරුවා. සිද්ධිය වූ දින ඇයගේ මල්ලි අපට කතාකර මේ බව කිව්වා. අප රෝහලට එනවිට දරුවා මියගොස් තිබුණා. ත්‍රිරෝද රථයෙන් බැස ට්‍රොලියට නගින විට දරුවා බිම වැටුණු බව රෝහලේ ආරක්ෂක නිලධාරියා කිව්වා."
මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළ කළුතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.එස්. අත්තනායක මහතා මළසිරුර අස්ථි කොටස් ඉදිරි පරීක්ෂණ සඳහා කළුතර මහ රෝහලේ පරීක්ෂණාගාරයට යවා තිබිණි. ඉදිරිපත් වූ සාක්ෂි සහ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තා සලකා බැලූ මරණ පරීක්ෂකවරයා මේ පිළිබඳ විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත්කළේය. මතුගම පොලීසියේ කොස්තාපල් ශාන්ත මහතා සාක්ෂි මෙහෙයවීය.
කළුතර - සුනිල් එස්. තන්ත්රිආරච්චි