හැටන්, වටවල ප්‍රදේශයේ සර්කෝමා රෝගයෙන් පීඩාවිඳින පාසල් සිසුවෙකුට විදේශ ප්‍රතිකාර ලබා ගැනීමට ආධාර පිණිස හැටන් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ආදි සිසුන් පිරිසක් විසින් සංගීත ප්‍රසංගයක් පවත්වා එම සංගීත ප්‍රසංගයෙන් ලැබූ ආධාර මුදල් තමන් වෙත ලබා නොදුන් බව රෝගී සිසුවාගේ පියා වන ජී.ජී. කල්‍යාණතිස්ස මහතා චෝදනා කරයි.
එම සිසුවාගේ රෝගී තත්ත්වය පිළිබඳ දැනගත් එම සංගීත ප්‍රසංගය පැවැත්වූ තරුණයන් පිරිසක් එම රෝගී සිසුවාගේ නිවසට ගොස් ඔහුගේ දෙමවුපියන් මුණගැසී රෝගී සිසුවාට ආධාර ලබාදීම සඳහා හැටන් නගරයේ සංගීත ප්‍රසංගයක් පවත්වන බවත්, ඒ සඳහා දැන්වීම්වල සඳහන් කිරීමට රෝගී සිසුවාගේ ඡායාරූපයක් සහ එම සංගීත ප්‍රසංගය පැවැත්වීමට එම සිසුවාගේ දෙමවුපියන්ගෙන් අවසරද ලබාගෙන තිබිණි. එම අවස්ථාව පැවසූ පසු ඩී. කේ. ඩබ්ලිව් සංස්කෘතික ශාලාව බාරකරු විසින් ඉතා අඩු මුදලකට එම ශාලාව වෙන්කර දී තිබිණි. රුපියල් 100, 150 බැගින් ප්‍රවේශපත්‍ර විශාල ප්‍රමාණයක් මුද්‍රණය කර එම ප්‍රවේශපත්‍ර නගර සභාවේද අනුමැතිය ඇතිව අලෙවි කර ඇති අතර එහිදී ඇතැම් ප්‍රේක්ෂකයන් විසින් මෙම රෝගී සිසුවාගේ රෝගී තත්ත්වය ගැන සලකා ප්‍රවේශපත්‍ර ගාස්තුවට වඩා වැඩි මුදලක් ගෙවා ප්‍රවේශපත්‍රද ලබාගෙන ඇත.
මේ සම්බන්ධයෙන් එම සංගීත සන්දර්ශනය සංවිධානය කළ අයගෙන් අවස්ථා කිහිපයකදී තමන් කරුණු විමසූ විට එම මුදල් කඩිනමින් ලබාදෙන බවට අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කළද, මේ වනවිට ඔවුන්ගේ දුරකථනයට ඇමතුම් ගත්තද නිසි ප්‍රතිචාරයක් නොදක්වන බව එම සිසුවාගේ පියා චෝදනා කරයි.