ආණ්ඩුව රැකගැනීම තම භූමිකාව බවත්, ඒ වෙනුවෙන් කළ ප්‍රකාශයක් වරදවා වටහාගැනීම තුළ තමා අපහසුතාවට පත්ව ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පැවසීය.
රංජන් රාමනායක මහතා පක්ෂය විවේචනය කරන්නේනම් පක්ෂයෙන් ඉවත්වන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ප්‍රකාශ කර තිබුණු අතර, මේ සම්බන්ධයෙන් .'අද' කළ විමසීමේදී ඔහු මේබව කීය.
දූෂණ, වංචා විමර්ශන කටයුතු මන්දගාමී වීම සම්බන්ධයෙන් ජනතාව තුළ දැඩි අප්‍රසාදයක් ඇති අතර තම ඒ පිළිබඳ පාර්ලිමේන්තුවෙදී පැවසුවේ ඉතා සද්භාවයෙන් බවත්, එසේ වුවද වඳින්න ගිය දේවාලය ඉහේ කඩාවැටුණා මෙන් තත්ත්වයක් මේ වනවිට ඇතිවී තිබෙන බවත් රංජන් රාමනායක මහතා ප්‍රකාශ කළේය.
තමා සිදුකළේ ඡන්ද පොරොන්දුවක් මතක් කරදීම පමණක් වන අතර, මේ සම්බන්ධයෙන් ඕනෑම තීන්දුවක් පක්ෂ නායකත්වය ලෙස අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ගතහැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
“මම පාර්ලිමේන්තුවේදී ඒ කතාව කිව්වේ බොහොම සද්භාවයෙන්. මට සිද්ධ වුණේ වඳින්න ගිය දේවාලය ඉහේ කඩාවැටුණා වගේ වැඩක්. මම මේ විදිහට කතාවක් කළේ පක්ෂය හෝ නායකත්වය අපහසුතාවට පත් කරන්න නෙවෙයි. ජනාධිපතිතුමාත් මට දෙවරක්ම කතා කළා.
ඒගැන ඔහු මට වරදක් කිව්වෙනම් නැහැ. මම පක්ෂ නායකත්වයට ගරු කරනවා. එතුමට බලය තියෙනවා මාව අයින් කරන්න. එතුමා එහෙම ඉල්ලීමක් කළොත් සලකා බලන්න පුළුවන්. ඉදිරියේදී මට විනය කමිටුවෙන් කතාකරයිද දන්නේ නැහැ. මම ඒගැන කල්පනාකරමින් ඉන්නවා.
මම දන්න විදිහට ජනතා මතය තමයි මම කිව්වේ. ජනතාව අතර මතයක් තිබෙනවා දූෂණ, මර්දන කටයුතු ප්‍රමාදයි කියන කාරණය සම්බන්ධව. මට ඡන්දෙ දීලා තියෙන්නේ එක්සත් ජාතික පාක්ෂිකයෝ. හොරුන්ගේ දූෂණ වංවා චෝදනා ගැන මම බොහෝවිට කතාකරලා තිබෙනවා. ඒ නිසා ජනතාව මගෙන් අහනවා චෝදනා මොකුත් ඔප්පුකරන්න බැරි වුණා නේද කියලා.
මගේ භූමිකාව ආණ්ඩුව රැකගැනීමයි. ඡන්ද පොරොන්දු ගැනයි මම මතක් කළේ. ඒක වැරදියට වටහාගැනීමක් කියලයි මම හිතන්නේ. හොරු ඉන්නවා යැයි කීම මාව පක්ෂයෙන් නෙරපන්න තරම් වරදක්ද කියන කාරණය තමයි මට තිබෙන ප්රශ්නය. කොහොම වුණත් නායකතුමාට මං ගැන තීරණයක් ගන්න පුළුවන්. එහෙම ඉල්ලීමක් කළොත් මම සලකා බලනවා. මම හිතන්නෙ මම වරදක් කරලා නැහැ කියලා"