නුවරඑළිය නගර සීමාවේ පානීය ජලය පිරිසුදු කිරීමට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගනිමින් ජනතාවට පිරිසුදු පානීය ජලය ලබාදීමට නුවරඑළිය මහ නගර සභාව නිරතුරුවම කටයුතු කරමින් සිටින බව නුවරඑළිය නාගරික කොමසාරිස් කේ.එම්.එච්.ඩබ්ලිව්.බණ්ඩාර මහතා පැවැසීය.
නුවරඑළිය නගර සභා බල ප්‍රදේශයේ ඇතැම් ප්‍රදේශ කීපයකින් ලබා ගන්නා ලද ජල සාම්පල්වල අසූචි මිශ්‍ර බවට හෙළිවීමත් සමග ජලය පිරිසුදු කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කිරීමට පියවර ගත් බවද ඒ මහතා පවසා සිටියේය.
නුවරඑළිය නගරයට ජලය ලබා ගන්නා ජල මූලාශ්රවල කිසිදු ගැටලුවක් නොමැති බවත්, ඇතැම් ප්‍රදේශයන් හරහා එලා ඇති භූගත ජල නළ දශක කීපයක් පැරණි වීමත් ඒවාට හානි සිදුව අපජලය ඒ තුළට එක්වන බවට සැක කරන බවද ඒ මහතා පැවසීය.
ඒ කෙසේ වෙතත් මෙම සියලු තත්ත්වයන්ට ගැලපෙන පරිදි ජලය පිරිසුදු කිරීමට අවශ්‍ය ක්ලෝරීන් රාසායනිකය යොදන බවත් හානියට ලක්ව ඇති ජල නළ නැවත සකස් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවද නාගරික කොමසාරිස් කේ.එම්.එච්.ඩබ්ලිව්.බණ්ඩාර මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
ශාන් හුලංනුගේ