තීරුබදු නොගෙවා, නීති විරෝධීව මෙරටට ගෙන්වූ සිගරට් අලෙවි කළ චීන ජාතිකයෙකු හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක දඩයක් නියම කර තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 40 හැවිරිදි චීන ජාතිකයෙකු වන අතර, මොහු සන්තකයේ තිබී තීරුබදු රහිතව ගෙන්වූ දුම් වැටි 126ක් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.
හම්බන්තොට සුරාබදු ස්ථානයේ නිලධාරීන් හට ලැබුණු තොරතුරකට අනුව අද (14දා ) පෙරවරුවේ හම්බන්තොට නගරය ආසන්නයේ ඇති චීන ජාතිකයන්ට අයත් කාර්යාලයක් පරීක්ෂාවට ලක්කර මොහු අත්අඩංගුවට ගෙන ඇත.
හම්බන්තොට වරාය ආශ්රිත ඉදිකිරීම් කටයුතු සිදුකරන චීන ජාතිකයන්ට හා ලාංකේය කම්කරුවන්ට කාලයක් සිට මොහු මේවා විකුණා ඇති බවට හෙළි වේ.
අදාළ චූදිතයාට ලක්ෂ පහක් වූ දඩ මුදල ගෙවීමට නොහැකි වූ බැවින් මුදල් ගෙවනතුරු ජුනි මස 06 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කර තිබේ.