ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැබිනට් අමාත්‍ය ධුර ඇතුලු වෙනත් අමාත්‍ය ධුර ලබාගනිමින් ජාතික ආණ්ඩුවකට එක් වීමෙන් සිදු කරනු ලබන්නේ තමන්ට ඡන්දය ලබාදුන් ජන බලවේගයන් පාවාදීමක් යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
අද (22දා) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී විමල් වීරවංශ මහතා මෙම අදහස් දැක්වීය.
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමාත්‍ය ධුර පිරිනමමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිදු කරන්නේ කුමක්ද? වෙන කිසිවක් නොවෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පවතින එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ‘වලිගය’ බවට පත් කිරීමයි.
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයට පත් වුණේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ හෝ අනෙකුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්ද දුන් අයගේ ඡන්දයෙන් නොවෙයි. එතුමා බලයට පත් කළේ රනිල් වික්‍රමසිංහ, ආර්. සම්බන්ධන්, රාවුෆ් හකීම්, අනුර දිසානායක, චම්පික රණවක වැනි අයයි. ඒ නිසා අද මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට අවශ්‍යයි, තමන් බලයට පත් කළ ඉහත කී අයට, විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට ස්ථාවර ආණ්ඩුවක්, විශ්වාසභංගවලින් වට්ටන්න බැරි ආණ්ඩුවක් හදලා දෙන්න.
රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වුණේ බහුතර කැමැත්තෙන් නොවෙයි. ශ්‍රී ලනිප මන්ත්‍රීවරු පිරිසක් කැබිනට් මණ්ඩලයට දාලා, තවත් පිරිසකට රාජ්‍ය අමාත්‍ය ධුර හා නියෝජ්‍ය අමාත්‍ය ධුර පිරිනමලා මේ සිදු කරන්නේ ජනාධිපතිවරණයට පෙර සිටම මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වී සිටි න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම. ඒක තමයි මෙහි එකම පරමාර්ථය.
මේක හරි පුදුම වැඩක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අමාත්‍ය ධුර ලබා ගන්නවා. ඒ අතරේ විපක්ෂ නායකකමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් තබා ගෙන ඉන්නවා. අමාත්‍ය ධුර බර ගණනක් අරගෙන, විපක්ෂ නායක කමත් තමන් ළඟ තබාගෙන ආණ්ඩුවත් තමන්ගේ, විපක්ෂයත් තමන්ගේ කියන තත්ත්වයක් හදා ගන්නවා.
මේ තත්ත්වය තුළ විපක්ෂ නායකවරයා ආණ්ඩුව විවේචනය කරන්නේ කොහොමද? ඒක කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් තමන්ට බනිනවා වගේ වැඩක්. මේ ආණ්ඩුවේ ජනාධිපති තමන්ගේ, අමාත්‍යවරු තමන්ගේ, එතකොට කොහොමද මේ ආණ්ඩුවට විවේචන එල්ල කරන්නේ." යැයි හෙතෙම සඳහන් කළේය.