නාගරික සංවර්ධනයේදී හැමවිටම ජනතාවාදී හරිත නගරයක්
කොළඹ දිස්ත්‍රික්කය තුළත් වනගොමු
නාගරික සංවර්ධනයේදී හැමවිටම ජනතා හිතවාදී හරිත නගරයක් ඉදිකිරීමට උත්සාහ ගන්නා බවත්, කොළඹ දිස්ත්‍රික්කය තුළද වනගොමු ආරම්භ කරන බවත් ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (10දා) පැවසීය.
ඒ ආදර්ශය මත පිහිටමින් කොළඹ නගරය නවීකරණය කළ බව පැවසූ ආරක්ෂක ලේකම්වරයා උද්‍යාන ඇති කරමින් ගස්වැල් සිටුවා එහි හරිත බව ආරක්ෂා කළ බවද සඳහන් කළේය.
ජාතික නාමල් උයනේ 25 වැනි සංවත්සර උත්සවය ආරක්ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති අවස්ථාවේදී හෙතෙම මෙම අදහස් දැක්වීය.
වනවාසී රාහුල හිමියන් විසින් වසර 25 ක් තිස්සේ ජාතික නාමල් උයන ආරක්ෂා කරගනිමින් ජාතික වශයෙන් ලබාදුන් ආදර්ශය කොළඹ නගරයට ගෙනඑමින් කෝට්ටේ බැද්දගාන ප්‍ර‘දේශයේ පාරිසරික උද්‍යාන 02 ක් ආරම්භ කළ බව ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
එසේම අවිධිමත් ගොඩකිරීම් සහ ගොඩනැගිලි හේතුවෙන් බොහෝ පරිසර පද්ධති විනාශ වී ඇතැයි පැවසූ ආරක්ෂක ලේකම්වරයා මෙවැනි ස්ථාන හඳුනාගෙන ආක්රමණික ශාක ඉවත්කරමින් එම ස්තානවල ශාක සිටුවීමට පියවර ගත් බවත්, සෑමවිටම හරිතභාවය ආරක්ෂා කිරීම අරමුණ වූ බවත් කියා සිටියේය.
ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් අදහස් දක්වමින් තමන් වහන්සේ කිසිදු දේශපාලන වේදිකාවකට නොනගින බව අවධාරණය කළහ.
එහෙත් විපක්ෂයේ හරිහැටි අපේක්ෂකයෙකු පෙනෙන්නට නොමැති බැවින් මෙවරද මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවන බව පැවසූ උන්වහන්සේ ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේ ජනාධිපතිවරයා කොළඹින් තරග කරන්නැයි ඉල්ලීම් ඉදිරිපත් කළද දේශපාලනයට නොයන ලෙසයි. ආරක්ෂක ලේකම් තනතුරේ සිට ඉදිරියටද රටට සේවයක් කරන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටියහ.
වැඩිදුරටත් අදහස් දැක්වූ වනවාසි රාහුල හිමියෝ මාධ්‍ය ආයතන නොමැතිව නම් අද තමන් වහන්සේ නොමැති බව කියා සිටියහ.
ලංකාදීප ප්‍රධාන කර්තෘ හා කතෘ මණ්ඩලය අධ්යක්ෂ සිරි රණසිංහ මහතාද මෙහිදී ජාතික නාමල් උයනේ වැදගත්කම පිළිබඳව අදහස් පළ කළේය.
ජනාධිපතිවරයා විසින් වනවාසී රාහුල හිමියන්ට විශේෂ තිළිණයක් එවා තිබුණු අතර, එය ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැන්වීය.
රංජිත් පෙරේරා මහතා විසින් නිර්මාණය කළ නාමල් උයනේ අධ්‍යාපනික, පරිසර හා භූගෝලීය වැදගත්කම පිළිබඳව ඩීවීඩි පටයද එළිදැක්වුණි. මහාසංඝරත්නය, මැතිඇමතිවරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, විදෙස් නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප - ශමීර රාජපක්ෂ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

