රටේ හා පාර්ලිමේන්තුවේ අවධානය මහනුවර කලහකාරී සිද්ධිය කෙරෙහි යොමුකර බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත් ආකාරයෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීමේ අවදානමක් තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.
බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ පනත් කෙටුම්පතට මහාසංඝරත්නය විරුද්ධවීම හේතුවෙන් අවස්ථා දෙකකදී එම පනත් කෙටුම්පත ඉවත් කරගැනීමට ආණ්ඩුවට සිදුවූ බවත්, මහනුවර ඇතිවූ කලහකාරි සිද්ධිය උපයෝගී කරගනිමින් මහාසංඝරත්නයේ ඉල්ලීම් පසෙකතබා එම පනත් කෙටුම්පත සම්මත කර ගත් බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, රටේ හා පාර්ලිමේන්තුවේ අවධානය වෙනත් සිද්ධි කෙරෙහි යොමුකර රටට අහිතකර පනත් කෙටුම්පත් සම්මත කරගැනීමේ වෑයමක ආණ්ඩුව යෙදී සිටින බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන්ද එවැනි පියවරක් අනුගමනය කරනු ඇති බවත්ය.