නවදිල්ලියේ පැවැති ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාවේත් ඉන්දියාවේත් ක්‍රිකට් ක්‍රිඩකයන්ට විෂදුමෙන් බලපෑම් සිදු වූ බවත්, මෙම පාරිසරික අවදානම් තත්ත්වය ගැන මීටවඩා සියලුම දෙනාගේ අවධානය යොමුවිය යුතු බවත් තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කරයි.
ක්‍රිඩකයන් ක්රිඩාකරන විට පිරිසුදු වාතය ස්වසනය කිරීම ඉතාම වැදගත් කරුණකි. නමුත් මුඛවාඩම් දමාගෙන ක්‍රිඩා කිරීමට සිදුවේනම් එය මොනතරම් අභාග්‍ය සම්පන්න තත්ත්වයක්දැයි අමාත්‍යවරිය ප්‍රශ්න කරයි.
දිගින් දිගටම පරිසර දූෂණය සිදු වුවහොත් තව නොබෝදිනකින් ශ්‍රී ලංකාව තුළද මෙවැනි තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබෙන බවත්, එමනිසා තිරසර සංවර්ධනයක් වෙනුවෙන් කැපවීමට දැන් සිටම මුළු රටම අධිෂ්ඨාන කරගතයුතු බවත් සුමේධා ජී. ජයසේන මහත්මිය පෙන්වා දුන්නාය.
නියෝජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ මොණරාගල පැවැති තිරසර සංවර්ධනය පිළිබඳ මොණරාගල දිස්ත්‍රික් වැඩමුළුවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි.
“ඉන්දියාවේ දිල්ලි නුවර ඇතැම් ප්‍රදේශවල මිනිස්සුන්ට නිවාසවලින් එළියට බහින්න එපා කියල අනතුරු අඟවලා. ඒ තරමටම වායු දූෂණයක් සිදුවෙලා. දිල්ලිවල සාමාන්‍යයෙන් මනුස්සයෙක් හුස්මගන්නකොට දවසකට දුම්වැටි 44ක් උරාබිව්වා වගේ තත්ත්වයක්ලු තියෙන්නේ.
පාසල් වහලා දාලා, රැකියා කරන්න යන්න විදියක් නැහැ. කුඩා දරුවන් අසනීප වෙනවා.දිල්ලි නුවර පැවැති ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා, ඉන්දීය ක්‍රීඩකයන් ක්‍රීඩා කළේ මුඛවාඩම් පැලඳගෙන.
මෙහෙම ගියොත් ජංගම දුරකථන අතේ තියෙනවා වගේ කුඩා ඔක්සිජන් ටැංකියක් පිටේ බැඳගෙන හැමෝටම යන්න සිදුවෙන දිනය වැඩි ඈතක නොවෙයි.
ලෝකයේ ඇතැම් රටවල නගරවල ඇවිදිනකොට කෘත්‍රිමව ඔක්සිජන් ලබාගත යුතුයි යන නිර්දේශය ළඟදිම ඉදිරිපත් වේවි. දැනටමත් ඇතැම් නගරවල ඊට ආසන්න තත්ත්වයන් තිබෙනවා.
දළදා සමිඳුන් වැඩසිටින ඓතිහාසික මහනුවර නගරයේත් දැඩිලෙස වායු දූෂණය වන බව පරිසරවේදීන් පෙන්වා දෙනවා. රථවාහනවලින් පිටකරන විෂදුම් මීට ප්‍රධාන හේතුවයි.
එම නිසා දැන් සිටම මහනුවර නගරය බේරාගැනීම සඳහා අපගේ අවධානය යොමුවිය යුතුයි. දැනටමත් ආණ්ඩුව ඒ සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කරලා තියෙනවා.”