නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නවසීලන්තයට පරිත්‍යාග කළ නන්දි අලිපැටවා නවසීලන්තයට රැගෙන යෑම තාවකාලිකව අත්හිටුවා තිබේ.
එම අලිපැටවා සිය දෙමව්පියන්ගෙන් වෙන්කිරීමට විරෝධය දක්වමින් සත්ත්ව අයිතීන් වෙනුවෙන් පෙනීසිටින්නන් අධිකරණය හමුවේ ගොනුකළ පෙත්සමකින් පසුව එම අලිපැටවා නවසීලන්තයට රැගෙන යෑම තාවකාලිකව අත්හිටුවා තිබේ.
නන්දි අවුරුදු හයක් වයසැති අලි පැටවෙකු වන අතර, එම අලි පැටවා දෙමව්පියන්ගෙන් වෙන්කිරීමත්, නවසීලන්ත කාලගුණයට හුරුවීමේදී ගැටලුවකට මුහුණදිය හැකි බවත් ක්‍රියාකාරීන් අධිකරණය හමුවේ කරුණු දැක්වීය.
මේ පිළිබඳව අදහස් දක්ව ඇති ඕමල්පේ සෝභිත හිමියන් පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ සෙල්සියස් අංශක 27ක පමණ උෂ්ණත්වයක් යටතේ ජීවත්වන අලි පැටවෙකුට නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර පවතින සෙල්සියස් අංශක 15ක පමණ උෂ්ණත්වයට හුරුවීම ගැටලුකාරී බවයි.
2015 වසරේදී ශ්‍රී ලංකාව නවසීලන්තයට අංජලී නම් වූ අලි පැටවෙකු පරිත්‍යාග කළ අතර, නන්දි නවසීලන්තයට පරිත්‍යාග කළ දෙවැනි අලිපැටවා වෙයි. ඇය නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සත්වෝද්‍යානයට රැගෙන යෑමට නියමිතව තිබිණි. නවසීලන්තයේ බලධාරීන් පැමිණ නන්දි නවසීලන්තයට රැගෙන යෑමට අවශ්‍ය සියලු කටයුතු පසුගිය වසරේදී සංවිධානය කර තිබිණි.
ශ්‍රී ලංකාවේ අංජලී අලිපැටවා ඕක්ලන්ඩ් නුවර සත්වෝද්‍යානයේදී