මඩකලපුව මුහුදු තීරයේදී පසුගියදා ධීවර දැල්වලට හසුවූයේ මුහුදු සර්පයන් (Sea Snakes) නොව, ගංගා, ඇළදොළ හා කලපු ආශ්‍රිතව වෙසෙන ආඳා (Anguilla) මත්ස්‍ය විශේෂයක් බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් 'අද' කළ විමසීමේදී ආචාර්යවරයා පෙන්වා දුන්නේ ගොඩබිම පිරිසුදු ජලයේ වැඩෙන මෙම ආඳා විශේෂය සිය ප්‍රජනන කාර්යය සඳහා කලපු හරහා මුහුදට පැමිණෙන බවයි.
එහිදී විශාල රංචු වශයෙන් එක්ව සාමූහිකව බිත්තර දැමීම සිදු කරන අතර, අනතුරුව අඟල් 02 ක් හෝ 03ක් පමණ දිගැති කුඩා ආඳා පැටවුන් කලපු හරහා ඇළ දොළ, ගංඟා වෙත පැමිණෙන බවත්, එහිදී ඔවුන්ගේ වැඩීම සිදුවන බවත් පෙන්වා දුන් ආචාර්යවරයා, වැඩුණු මත්ස්‍යයන් ප්‍රජනන ක්‍රියාවලිය සඳහා මුහුදට ගමන් කළ පසු දියඹෙන් ඈතට ඇදී යන බැවින් අනතුරුව ඔවුන්ට කුමක් සිදුවන්නේදැයි යන්න පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මේ වනතෙක් සිදුකර නොමැති බවද පැවසීය.
ඒ අනුව, මෙම ආඳා විශේෂය මාදැල්වලට බහුල වශයෙන් හසුවීමේ තත්ත්වය එම මත්ස්‍යයන්ගේ ජීවන චක්‍රයේ එක් අවස්ථාවක ස්වභාවය හේතුවෙන් සිදු වූවක් විනා සුනාමි හෝ වෙනත් දේශගුණික ව්‍යසනයක් ඇතිවීමක පෙර නිමිත්තක් නොවන බවත්,පැතිර යන එවැනි කටකතා පැහැදිලිවම මිත්‍යාවක් බවත් ආචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.