පසුගිය ජනාධිපතිවරණ සමයේ ස්වාධීන රූපවාහිනී සේවයෙන් (ITN) විකාශනය කෙරුණු දැන්වීම් සඳහා ගෙවිය යුතු ගාස්තු නොගෙවීම නිසා එම සේවයට රුපියල් කෝටියකට අධික පාඩුවක් සිදුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (23දා) සවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගෙන ඇතැයි වාර්තා වේ.
මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඊයේ (23දා) පෙරවරු 9.00 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවට (BMICH) පැමිණෙන ලෙස ඒ මහතාට දැනුම් දීමක් කර තිබුණත් ඒ මහතා එහි නොපැමිණීම නිසා කොමිසමේ නිලධාරීන් තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මිරිහානේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට ගොස් මෙම ප්‍රකාශය ලබාගෙන ඇතැයි වාර්තා වේ.
කොමිසමෙන් කළ දැනුම් දීමට අනුව රාජපක්ෂ මහතා කොමිසම හමුවට පැමිණෙනු ඇතැයි කොමිසමේ නිලධාරීන් බලාපොරොත්තු වුවත්, ඊයේ (23දා) සවස් වනතුරු ඒ මහතා කොමිසමට පැමිණියේ නොමැති බවත්, ඒ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමේ අරමුණින් යුතුව කොමිසමේ නිලධාරීන් සූදානමින් පසු වූ බවත්, එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
කෙසේ නමුත් ඊයේ (23දා) සවස 4.30 ට පමණ මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝජිතයෙකු දුරකථන ඇමතුමක් ලබාදී කොමිසමට රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවත්, එම ප්‍රකාශය ගැනීම සඳහා නිලධාරීන් රාජපක්ෂ මහතාගේ නිවසට එවන ලෙසත් දන්වා ඇත.
ඒ අනුව කොමිසමේ විමර්ශන කටයුතු භාර සහකාර පොලිස් අධිකාරී ලලිත් අබේසේකර මහතා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු ඊයේ සවස 5.00 ට පමණ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට ගොස් ඒ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම ආරම්භ කළ බව වාර්තා වේ.