භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පුද්ගලයන් සිවුදෙනෙකු ඝාතනය කර තවත් අයෙකු ඝාතනය කිරීමට තැත්කළ බවට චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනාට ලබන අප්‍රේල් පළමුවැනිදා උසාවියේ පෙනී සිටින ලෙස නියම කරමින් කොළඹ මහාධිකරණය ඊයේ (17දා) සිතාසි නිකුත් කළේය.
එලෙස සිතාසි නිකුත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය මෙම අපරාධයට අදාළ මුල් නඩු වාර්තාව මහාධිකරණයට එවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛාධිකාරිවරියට දැනුම් දෙන්නැයිද නියම කළාය.
2011/10/08 වැනිදා පැවැති බස්නාහිර පළාත් සභා මැතිවරණ දිනයේ අංගොඩ ප්‍රදේශයේදී නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස කටයුතු කරමින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, දමිත දර්ශණ ජයතිලක, මොහොමඩ් අස්මි හකීම්, මනිවෙල් කුමරරත්නම් නමැත්තන්ට වෙඩි තබා ඝාතනය කර, රාජගුරුගේ ගාමිණී නමැත්තාට වෙඩි තබා මරා දැමීමට තැත්කළ බවට නීතිපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.
මෙලෙස චෝදනා ලැබ සිටින අනුර තුෂාර ද මෙල්, චන්දන ජගත් කුමාර, රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, ලංකා රසාංජන, මාලක සමීර, ඩබ්ලිව්. අමිල, සරත් බණ්ඩාර, සුංග ප්‍රේමලාල්, සමන් කුමාර අබේවික්‍රම, ජනක බණ්ඩාර ගලගොඩ, දුමින්ද සිල්වා, රෝහණ මාරසිංහ සහ එන්.එල්. ශමීන්ද්‍ර නමැත්තන්ට උසාවියේ පෙනී සිටින ලෙස නියම කරමින් මෙලෙස සිතාසි නිකුත් කෙරිණි.